Tuesday, May 7, 2019

ප්‍රේමාදරේ වචන සීමා නොවේ...

දිනෙක මගේ දිවි ගමනේ 
මට හිමි  නැති හදවත ඔබගේ 
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ

හමුවෙලා ‍රැඳුන කාලයේ මාගේ ළඟින් ඔයා
වරදවා දැනුනේ සිත ඔබේ ආදරේ මට කියා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ

සැරසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් එදා
සිහිවෙලා ඔබව නෙතු මගේ 
පාළුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජීවිතේටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ


ප්‍රේමය වඩාත් සුන්දර වන්නේ එය අප්‍රකාශිතව තිබෙන තරමටය. එහි සුන්දරත්වය වුවද එවිට තීව්‍ර වන්නේ නිතැතිනි. මිනිසා සෑම විටම උත්සාහ ගන්නේ නොතේරෙන නොදැනෙන දේ විග්‍රහ කරමින් ඒ තුළ අතරමං වන්නටය. හරි හැටි නිශ්චිතවම තීරණය කර ගත නොහැකි සංසිද්ධි ඔවුන් විග්‍රහ කරගන්නේ එය තමාට යහපත් වන ආකාරයටය. අංශු මාත්‍රයක බැල්මකට පවා සමහර අවස්ථාවල සිත ඇදී යන්නේ ඒ නිසාය. එය ආදරයක සේයාවක් දෝ යි ඒ තුළ අතරමංවන්නේ එබැවිනි. 

දු‍ටු විගස ආදරයෙන් බැ‍ඳෙන්නට මාත්‍රයක බැල්මක් ප්‍රමාණවත් ය. ආදරයේ කෝඩුකරුවන් සදා පතන්නේ එවැනි මිහිරිතම හැඟීම ය. නමුත් අප කාලය සමඟ ගැටෙන විට, සමාජය හා ගැටෙන විට අප ආදරයට පවා බාධා පනවන්නේ සිත පවා රවටා ගනිමිනි. 

හමුවෙලා ‍රැඳුන කාලයේ මාගේ ළඟින් ඔයා
වරදවා දැනුනේ සිත ඔබේ ආදරේ මට කියා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ 
ඔබේ අත ගන්නට ඒ භවේ

ඔබත් මමත් අතර ප්‍රේම සම්බන්ධයක් නොතිබූ පමණින් අප එකිනෙකාට ආදරය නොකළ බව පිළිගන්නට බැහැ. සරලව කිව්වොත් අපි අතර තිබුණේ අප දෙදෙනා පමණක් දැන සිටි ආදරයක්. ඒ බව ඔබේ හිතත්, මගේ හිතත් දන්නා නමුදු ඒ බව පිළිගන්නට අපි එකිනෙකා සූදානම් නැහැ. ප්‍රේමයකට හැකියි හිමි වන්නටත්, අහිමි වන්නටත්. අන්න ඒ නිසයි ඔබ ඔතන ඉන්න. මම මෙතනම ඉන්නම්. කෙටි වචන තුළ මෙන්ම කාලය ගෙවී ගිය දිගු තත්පර වලදී ත් අපි එකිනෙකා මිත්‍රත්වය යන නමින් හඳුන්වාගත් සරල සුන්දර ආදර කතාවක් ඒ තුළ හැංගිලා තියෙනවා විය හැකියි.

අහම්බයකින් අප හමු වෙන දින වල, වෙන් වෙන මොහොතේ ඒ සුබ පතන ප්‍රාර්ථනය මත තියෙන ආදරය එහෙම්ම තිබුණාවේ. ඉඳහිට එවන සයිබර් පණිවුඩයක ගැබ් වෙලා තියෙන ඒ නොකී ආදරය එහෙම්ම තිබුණාවේ. ජීවිතයේ සියළු දේ සම්පූර්ණ යැයි හැ‍ඟෙන දිනක් වෙතොත් එදාට ඔබ ළඟ ඉන්න. එපමණක්ම ඇති. 

"ප්‍රේමාදරේ වචන සීමා නොවේ
ඔබ වෙයි මගේ එකම හීනේ"

සිත යනු හික්මවා ගැනීමට ඉතා අපහසු, බැඳ තබා ගත නොහැකි මෙවලමකි. ඔබට ඇත්තේ චංචල ආදරයක් නම් ඔබ ප්‍රවේසම්  විය යුතුය. මන්ද ඔබ මඟ හරින්නේ ඔබේ ජීවිතය වඩාත් සුන්දර කළ හැකි, එයට අරුතක් ලබා දිය හැකි සහකාරිය/සහකරුවා  බැවිනි. 

"ආදරය වඩා සුන්දර එය අප්‍රකාශිතව පවතින තුරු බව මට විශ්වාසයි!"

-චමෝදි විතානගේ-

No comments:

Post a Comment