නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට
විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග දැන් අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳීනම්
මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
අතින් වත් අත නො අල්ලා ප්‍රේම කළ, අයිතියක් නැතුව ප්‍රේම කළ... කිසිවක්ම, අඩුම තරමේ ප්‍රේමය තබා සිනහවක්වත් නොපතාම ප්‍රේම කල හදවත් වලට..
මා එක් පෙති මලක්ව සිටියදී , නෙලා නොගෙනම, පිපෙන්නට නියත විවරණ දීමම ප්‍රේමයක් බව පසක් කර දුන්නේ ඔහුය. මා ඔබ සතු කර ගන්නට සිතුව ද ඔබේ ප්‍රථම ප්‍රේමය වන්නට මට නොහැකි විය. එහෙයින් අද ඔබ නිසා මට ශේෂ වූයේ විරහව පමණි. ඔබේ නික්ම යාම තවමත් තේරුම් ගත නොහැකි හෙයින් මගේ හිත හදාගන්නට මටම සිදු විය. ප්‍රේමය යනු අයිතිකරගැනීම ම නොවන තැන බලා සැනසීම ද ප්‍රේමයම බැව් මට හැඟේ. ළං වන්නට නොහැකි තැන්හී දී සැබෑ ප්‍රේමවන්තයෝ පතන්නේ අනෙකාගේ සැපත පමණය. එය ප්‍රේමය තුළ ඇති පරිත්‍යාගශීලී බවයි. මා ඔබට පෙම් කළ තරමටම ඔබට ආදරය නො අඩුව ලැබේ නම්, මගේ මතකය තවත් ඔබ නොපෙලන්නේ නම්. තවත් දුක් ගී ගයන්නේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි.
මෙලොව ඇති අති සුන්දරම හැඟීම ආදරය සිත තුළ ඇති කරන්නේ ආශ්වාදජනක මිහිරකි. ආදරය බොහෝම ගැඹුරු ආත්මාර්ථකාමී හැඟීමකි. ආදරය සමඟ එන විරහව හදවතේ සියුම් හැඟිම් ස්පර්ශ කරයි. අහිමි ආදරය ශක්තිමත් ව දරා ගන්නට පමණක් නොව එය සුන්දර ඡායා මාත්‍රයක් ලෙස සිතා බැහැර කරන්නට හැකි නම් එයද මහා ජයග්‍රහණයකි. ආදරයේ අවසානය ප්‍රවාහයකි. සිත අධ්‍යාත්මය නම්, සිතුවිලි ගැලීමකි. ඒ ආදරය සදාකල්හිම නැහැවී, නැහැවී ගැඹුරු සන්තානයේ නිසල වේවි. මිනිසා විඳින්නේ රිදෙන තරමටයි. ගතින් වෙන් වුවද සිතින් බැඳී පවතින අපූර්ව ප්‍රේමය සැමදා මිහිරකි.
"අප්‍රකාශිත ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයට වඩාත්, පරිත්‍යාග කළ ප්‍රේමය අයිතිකරගත් ප්‍රේමයට වඩාත් බලවත් ය. සංසාරය දිගු බැවින් නිහඬ වෙමි. අයිතිවාසිකම් නොකියමි."
චමෝදි විතානගේ
චමෝදි විතානගේ
No comments:
Post a Comment