Wednesday, January 30, 2019

නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල

Related image

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...

දුඹුළු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොළ ඉඳිකටු තුඬ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල...

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය
සංගීතය : රෝහණ වීරසිංහ ශූරීන්

කාන්තාව ස්වභාවයෙන්ම මොළකැටිය. සියුමැලිය. ජීවිතයේ සෑම කාලයකදීම ඇයට හව් හරණක් අවැසිමය. කුඩා කලදී දෙමව්පියන් ගේ සෙවණෙහි වැඩෙන ඇය, වයසින් මුහුකුරා යත්ම ස්වාමියාගේ හව්හරණයට යටත් වන්නීය. එහෙත් මේ සියළු සංසිද්ධීන් අතර දී දරිද්‍රතාවයේ සෙවණැලි හිස ඔසවන්නේ නොදැනීමය. එවිට තවත් සියුමැලි මොළොක් බවින් ඉන්නට ඇයට නොහැකිය. මේ ගීතය සමාජගත කිරීම හරහා රචකයා උත්සාහ දරන්නේ අපේ රටේ තවත් එක් ඛේදාන්ත ඉරණමක් පිළිබඳ කියාපෑමට යි.

නිල් මහනෙල් මලක බර ඔබට සිතා ගත හැකි ද? යුවතියකට එය දැනෙන බරක් වීම තරමටම ?පෙරදින නිල් මහනෙල් මලක් ගෙලේ පැළඳ ගැනීම පවා ඉමහත් බරකැයි සැළකූ ඇය ජීවන බර කෙසේ දරාගන්න ද? හමා එන සුළ‍ඟේ ‍රැඳි ඇති ග්‍රීස්මය පවා, ඇගේ සුමුදු වතට දරාගත නොහැකි තරම් සැඩ වු කල්හි ජීවන බර දරා ගැනීම ගැන කවර කතාද! එතරම් ම සැහැල්ලුවෙන් කිරිල්ලියක් මෙන් ජීවිතය ගෙවූ ඇය හිටිහැටියේ මෙබඳු තීරණයකට එළඹියේ කෙසේද යන්න පවා ප්‍රශ්නාර්ථයක්  ම විය. එකම ලෝකයක්. එහෙත් ඉරණම් දෙකක්. සාමාන්‍ය තරුණියක මෙන් ජීවිතය විඳින්නට ඇයට වරම් නැත. ඇය තම තරුණ දිවිය කැප කළේ තම පවුල වෙනුවෙනි. ඒ ළෙංගතුකම නිසාවෙනි. 

දුඹුළු බැඳී ඉර හඳ දෙක - අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර
මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර….

ගෙදර ඉර හඳ වන දෙමව්පියන් දෙදෙනාම මහලුය. නිතර නිතර අසනීපයෙන් පෙලෙයි. මව හා පියා තව දුරටත් පවුලේම බර දරා ගන්නට හැකියාවක් නැති තරමටම මහලුයි. ඉගෙන ගන්නට මඟක් නොමැතිව ළතැවෙන සහෝදර සහෝදරියන් ද ඇයට පෙනෙයි. මුළුතැන්ගෙයි ඇවිළෙන්නේ දරිද්‍රතාවයේ ගින්දරයි. සියලුම ප්‍රශ්න වලට විසඳුම මුදල් ය. ඉතින් ඇය දිය කර හරින්නේ ඇගේ හොඳම කාලයයි. ඉතින් නංගියේ මේ සියලු ගැටළු වලට සිය කැමැත්තෙන්ම විසඳුම් සොයන නුඹ තරම් සොඳුරු කවියක්වත් සොයා ගන්නට මේ මිහිපිට නොමැති වනවාට නිසැකයි.


තබා දෙතොළ ඉඳිකටු තුඬ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල…

Related image‍රැකියාවක් සොයා ගැනීම කළුනික සෙවීම තරම් ම වෙහෙසකර ක්‍රියාවක් වන කාලයක ඇය ‍තෝරාගන්නේ ගාමන්ට් ‍රැකියාවකි. සෙනෙහෙබර නිවැසියන් දමා යාම හිතකින් කළ නොහැක්කක් වුවත් ඇයට යන්නම සිදුවිය. පෙරදින අතොරක් නැතිව කියවූ ඇගේ මුව අද ගොළුවී ඇත. සිහින සැබෑ වන අයුරු දිගින් දිගටම මනසින් දැකීම නිසා ඇය දැන් තරමක් දුරට ප්‍රීතිමත්ය. ඇය ගෙදරට අත්වැල සැපයුවේ වියමනෙනි. දැන් අම්මාට තාත්තාට කලට වේලාවට බෙහෙත් ටික ‍රැගෙන දිය හැකිය. සහෝදර සහෝදරියන් ද පෙරට වඩා හොඳින් ඉගෙන ගන්නා බව ඇයට පෙනේ. ඉඳින් ඇයට ඊට වඩා සතුටක් කොයින් ද? ඇය කෙතරම් පරිත්‍යාගශීලී ද? ඇය බලාපොරොත්තු වන්නේ පවුලේ සතුට පමණි. ඇගේ රැකියාව නිසා ගෙදරට ශක්තියක් වන්නට හැකියාව ලැබුණු නිසාම ගමේ ඇතැමුන්ගේ උජාරු කතා වල වටිනාකමද අද නැත්තටම නැති වී ඇත.

ජිවිතය ඇත්තෙන්ම අරගලයකි. ග්‍රාමීය ප්‍රදේශවල යුවතියන් ‍රැසක් ගාමන්ට්, නිදහස් වෙළඳ කලාප වල ‍රැකියාවට එන්නේ ගෙදර දොර ගැටලු විසඳ ගත නොහැකිම තැනය. ඔවුන් ජීවිතය ගොතන්නේ නූල් පටිනි. ඒ සුන්දර මුහුණ පි‍ටුපස සැඟව ඇත්තේ ඔවුන්ගේ කඳුළු කතාවයි. 

-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 


No comments:

Post a Comment