Tuesday, September 11, 2018

දස්කොන් - ප්‍රමිලා.. ප්‍රේමයේ නාමයෙන්


                                             Image result for daskon pramila

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී....

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ....

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ.....

රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කො‍ටුව


දස්කොන්, ප්‍රමිලා ප්‍රේම පුරාණය ලංකාව, ප්‍රංශය හා දකුණු ඉන්දියාව යා කරමින් ඇතිවූ පෙම් පුවතකි. තවද එම  ප්‍රේම වෘතාන්තය ලක්දිව මහනුවර රාජ්‍ය සමය තෙක් දිව යන්නකි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස ඔහු වෙනුවෙන් වඩුග රටින් මෙරටට කැඳවා ගෙන ආ වඩුග බිසව ප්‍රමිලා නම් වූවාය. දස්කොන් ප්‍රංශ ජාතික කාන්තාවකට දාව උපන්නෙකි. සෙල්ලම් නිරිඳු හෙවත් නරේන්ද්‍රසිංහ රජුගේ සමීපතම හිතවතා ද,ඔහුම වූ බැවින්  පසු කළෙකදී රාජ සභාවේ මහා අධිකාරම් තනතුර ද පත්වන්නේ දස්කොන් ය. 


රජ වාසල ප්‍රසිද්ධ රහසක් බවට පත් වූ ප්‍රමිලා බිසවගේත් දස්කොන් අදිකාරම්ගේත් ප්‍රේමය ආරම්හ වන්නේ, දස්කොන් මහා අදිකාරම් ධූරයට පත් වීමෙන් පසුවය. ප්‍රමිලා බිසව හඟුරන්කෙත මාළිගයේත්, රජු සෙංකඩගල මාළිගයේත් වාසය කිරීමත් එවැනි තත්ත්වයක් ඇති වීමට අවශ්‍ය වටපිටාව සලසා දෙනු ලැබීය. ප්‍රමිලා බිසව මෙන්ම දස්කොන් අදිකාරම් ද කාව්‍යත්වයට දැක්වූ නිපුණතාව ඔවුන් එකිනෙකා කෙරෙහි ළං වීමට තවත් හේතුවක් විය.

දස්කොන් ට මරණ දණ්ඩනය නියම වීමත් සමඟම ප්‍රමිලා එයින් අතිශය ශෝක වන්නීය. ආදර ගින්න, වියෝ ගින්න අන් සෑම ගින්නකටම වඩා බලවත් හෙයින් මේ සසරේ දී හිමි නොවූ දස්කොන් ගෙන් ඇය අයදින්නේ  මතු සසරේදී හෝ ඇගේ වන ලෙසයි. දස්කොන් මරණ මංචකයේ දී පවසන්නේ මෙම කවි පදයයි.


Related image   





සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි  ඔබ යනවාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළදී අපට හමුවන් අභීතම, නිර්භයම ප්‍රේම වන්තයා දස්කොන් ය. දංගෙඩියට හිස තබන්නට ගිය ගමනේ දී පවා ඔහු ප්‍රමිලාට පැවති ආදරය සපථ කරන්නේය. 


          විසැස් කමලාව රස පහස නොවිඳ          මා
          දසිස් දුණි ඔරණ ඇස දු‍ටු පමණට            මා
          වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
          මහිස් එකක් දුනි නම් ඔබේ නමට      කිමා

රාවණාට සීතාගේ පහස නොවිඳම ඇයව දු‍ටු පමණින් තම හිස් දහයම අහිමි කරගැනීමට සිදුවිය. එහෙයින්, ඔබේ අමෘත්තය බඳු පහස ඇති තරම් විඳි මට, මගේ එක් හිසක් ඔබේ නමට දීමට සිදුවීම සුළු දෙයක් බවයි. මනසින් ආදරේ කළ සැබෑ පෙම්වතෙක් සහ ආදරයක් සහ ආසාව අතර දුක් වූ ගැහැනියකගේ සංවේදී කතා වස්තුවට මෙරට ඉතිහාසය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

ගීත ඉතිහාසය තුළ දස්කොන් ප්‍රමිලා කතා පුවත අරභයා රචනා වූ ගීත ‍රැසකි. කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කො‍ටුව ශිල්පිනියගේ ළයාන්විත එහෙත් වේදනාබර හඬින් ගැයෙන මේ ගීතය රසික හදවත් තුළ සුවිශේෂි ස්ථානයක් ගෙන ඇත. මාළිගය තුළදී රජුගේ අවධානයට, ඇගයීමට පාත්‍ර නොවූ ප්‍රමිලා ගත කලේ කනස්සලු දිවියකි. මෙකී කනස්සලු ලසෝ තැවුල හොඳින් හඳුනාගත දස්කොන් මහා අදිකාරම් ඇයට ළං වූයේ ඇයට මෙන්ම ඔහුට පවා නොදැනෙමිනි. ප්‍රමිලා පවා බලාපොරොත්තු වූ ආධ්‍යාත්මික සුවය, චිත්ත ප්‍රීතිය ඇයට හිමි වූයේ දස්කොන් නිසාය. එහෙයින් ඇගේ සිතෙහි එතෙක් පැවති හුදෙකලා බව ඇය වෙතින් තුරන් විය.

ප්‍රේමය නම් සිතුවිල්ල හට ගන්නේ ඇසිල්ලකිනි. ඔබට තවෙකෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නට පස් මහා බැලුම් පරික්ෂා කිරීමට අවශ්‍ය නොවෙයි. හිත ගිය තැන මාලිගාව යැයි අප කියන්නේ එබැවිනි. අප ආදරයේදී දෙවරක් නොසිතා තීරණ ගන්නේ එහෙයිනි. එය එදත් අදටත් හෙටටත් පොදු ධර්මතාවයකි. දස්කොන් ටත් ප්‍රමිලාටත් සිදුවූයේ එයයි. ඔවුනොවුන් හා ආදරයෙන් බැඳුණේ එහි උචිත අනුචිත භාවය පරීක්ෂා නොකරමිනි. අවසන සිදු වූයේ දස්කොන්ට මරණයෙන් වන්දි ගෙවීමටයි. ඉතිහාසය කොතෙක් ප්‍රලාප මේ සම්බන්ධව වර නැගුවද ප්‍රේමය හමුවේ අපද අදටත් තීරණ ගන්නේ බුද්ධියට නොව හැඟීමට වහල් වීමෙනි.

මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්.. දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා.. නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්.. සක්මන් මළුව සොයාගෙන මම ආවා.. සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ.. මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ.. සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ.. බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ.. ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ.. කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ.. ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

  

No comments:

Post a Comment