Sunday, August 26, 2018

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..


වසන් වන සඳ වළාකුළකට
අඬා වැ‍ටුණට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..

මවා දී තරු රටා අහසේ 
සිනාසී උන් තරු කිනිත්තෙන් 
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැ‍ටුණා..
සරා සඳකට දරා ගන්නට බෑ... 
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ
බිඳී ගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා...
මලානික ඇස් හිනාවෙන්නේ නෑ..
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...


රචනය : දිල්ෂාන් පතිරත්න

Related imageඉමක් කොනක් නොපෙනෙන මහා ආකාසයයි. ආකාසය රාත්‍රියට සුන්දර වන්නේත් විචිත්‍ර හැගුම් මවන්නේත් එහි ඇති චන්ද්‍රයාත් ඒ වටා බබලන තරුත් නිසාවෙනි. චන්ද්‍රයාගේ පවතින සොමි ගුණයත්, කාන්තියත් නිසාවෙන් තරු ද දිලෙයි. එහෙයින් තරු පවා ආලෝකවත් වන්නේ චන්ද්‍රයා නිසාවෙනි. යම් හෙයකින් සඳ වළාකුළකින් වැසී ගියහොත් තරු ද අඳුරේ ගිලෙන්නෝය. තරුවෙහි ඇති සුන්දරත්වය පියවි ඇසට දකින්නට නම් සඳ එළියද අවැසිමය. 



ඔහු චන්ද්‍රයා වැනිය. ඇය ස‍ඳෙන් එළිය ලබන තාරකාවකි. සඳ හිටිහැටියේ ඝණ අන්ධකාරයෙන් වැසී ගියහොත් එයට බලපෑම්  කරන්නට තාරකාවකට නොහැකිය. ඔහු  ඇය ආදරයෙන් වෙළුණු සුපෙම්වතුන්ය. ප්‍රේමය නම් මෙයැයි කියා අර්ථකතනයට පවා ලක් වූවන්ය. නමුත් කාලය හරස් වන්නේ ප්‍රේමවන්තයින්ටය. මෙලොව කිසිවක් නිත්‍ය නොවන බව පසක් කරමින් ඔහු ඇගේ නිර්මල ප්‍රේමයට සමු දෙන්නේ ඇයටත් හොරෙනි. එහෙයින් ඇය හඬා වැ‍ටුණත් කළ හැකි කිසිවක් ඇයට නොවීය. මෙවන් සංසිද්ධි වනාහී බොහෝ ගීත රචකයන්ට හේතු පාඨයක් වූ සංසිද්ධීන් ය. එදත්, අදත්  හෙටත් මෙවන් සිදුවීම් ඕනෑ තරම් සිදු වනු ඇත. කියවන ඔබ ද, මෙය ලියන මටද මෙවන් සිදුවීම් අහම්බයක් යැයි සිතුණත් එවන් සිදුවීම් බොහෝමයක් අවසානයේ එක් පාර්ශවයකට සදාකාලික දුකක් ද, අනෙකාට පසු කාලීන පසුතැවිල්ලකට ද උරුමකම් කීමට සිදුවනු නියතය. 


Related imageප්‍රේමය නම් සිතුවිල්ල හට ගන්නේ ඇසිල්ලකිනි. ඔබට තවෙකෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නට පස් මහා බැලුම් පරික්ෂා කිරීමට අවශ්‍ය නොවෙයි. හිත ගිය තැන මාලිගාව යැයි අප කියන්නේ එබැවිනි. එහෙත් අනේක විධ දුෂ්කරතා විඳ ප්‍රේමය ළගා කරගත් පසු ඔවුනොවුන්ට ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගන්නේ තමන් පැතු , තමන් අපේක්ෂා කළ පුද්ගල චරිතය මෙය නොවන බවයි. දීර්ඝ කාලීන සිතුවිලි ඝට්ටන සිදුවෙද්දී ඒ අතරට තෙවැනි පාර්ශවයක ඇල්ම බැල්ම ලැබුණොත් ඔබ දෙවරක් නොසිතා සිත නැංගුරම් ලන්නේ එ තුළය.  එය සාමාන්‍ය ස්වභාවයයි. එවන් මොහොතක දී තරුව කෙතරම් හඬා වැ‍ටුණද, එය සඳට නොදැනෙයි. මන්ද ඒ වන විටත් වළාකුලකින් සඳ වැසී ඇති බැවිනි. ආදරයේ ස්වභාවය එයයි. මිනිස් සිත පිනවීම ඉතා අපහසුය. බි‍ඳෙන, සෙලවෙන, ගැටෙන පුහුදුන් ජීවිත සෑම විටම ළං කරගන්නට උත්සාහ කරන්නේ තමාට අයත් නොවන දේය. තමා සතු වස්තූන්ගේ අගය රඳා පවතින්නේ එය සතු කරගන්නා තෙක් පමණි. ආදරයට ද ඇත්තේ මෙවන් ගති ලක්ෂණය.


ඇය එළිය කරන්නේ ඔහුගේ ලෝකයයි. ලස්සන කරන්නේ ඔහුගේ ජීවිතයයි. එළිය කරන්නේ, සැබෑ කරන්නේ ඔහුගේ හීනයි. කොටින්ම කිව්වොත් ඇය වෙහෙසෙන්නේ ඔහුගේ ලෝකය අර්ථවත් කිරීමටයි. නමුත් අවසානයේ ඔහුගේ නික්ම යාමත් සමඟ ඇයට ඉතිරි වන්නේ කඳුල, සුසුම පමණි. විරහව මෙලොව අසීරුතම හැඟීමකි. බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මුදා හළ කඳුළු වල ප්‍රමාණය සප්ත මහා සාගරයටත් වඩා වැඩි බවයි. ආදරය අපට බලෙන් ලබා ගත නොහැකි හැඟීමකි. එය හට ගන්නේ ඔබටත් නොදැනීමය. ආදරය ආධ්‍යාත්මික හැඟීමකි. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බැරි බව ඔබ ද මා ද පසක් කරගත යුතු සත්‍යයකි. 


ලැබුණු දේ කොච්චර හොඳ වුණත්, වටිනවා වුණත්, හිත තදින් ඇළුම් කළ ඒ ආදරය අතීත ප්‍රේමය ඔබව දවනවා විය හැකිය. ජීවිතේ කියන්නේම අහිමි වීම හා අනවශ්‍ය දේවල් ලැබීමය. නමුත් ආදරය හමුවේ සියල්ලෝම අත් විඳින්නේ එකම අත්දැකීම් සමුදායකි. වර්තමාන ආදරය හමුවේ ඇතැම් විට ඔබ අතීත ප්‍රේමය සංසන්දනාත්මකව විමසනවා විය හැකිය. නමුත් අතීතය සිහිනයකැයි සිතා බැහැර කළ යුතුමය. අතීත ආදරය ඔබේ සිත දවනවා විය හැකිය. නමුත් ආදරය හමුවේ සියල්ලෝම අත් විඳින්නේ එකම අත්දැකීම් සමුදායකි. වර්තමාන ආදරය හමුවේ ඇතැම් විට ඔබ අතීත ප්‍රේමය සංසන්දනාත්මකව විමසනවා විය හැකිය. නමුත් අතීතය සිහිනයකැයි සිතා බැහැර කළ යුතුමය. ආදරයට ඔබ ආදරය කළ යුතුමය. එහෙත් හිතින් යන අය ගතින් බැඳ තබා ගන්නට ගන්නා පුහු උත්සාහයන් සැබැවින්ම අනර්ථකාරීය. 


ගීතය ගැන බොහෝ දෙනා පළ කරන අදහස් විශිෂ්ඨය. ඒ එම ගීතය රසික හදවත් වැළඳ ගත් ආකාරයයි. යූ ටියුබ් හි එක්තරා රසිකයෙක් සඳහන් කර තිබුණේ  "ආන්ත්‍රාවයි! ඇබ්බැහි වන සුළුයි" යනුවෙනි. එපමණකින් ගීතය කෙතරම් සංවේදීව රසික හදවත් ආමන්ත්‍රණය කළේ ද යන්න ගම්‍යමාන වේ. යුග දෙකක හඬ සුසංයෝගය රසික හදවත් අමන්දානන්දයට පත් කරන්නට සමත් වී ඇත. 


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

No comments:

Post a Comment