Monday, August 6, 2018

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු - සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා

විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය...

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූ වා..
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා..

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
ඈ ලොව අහිමි වූවා..
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙතට ආවා..

ගායනය : විශාරද අමරසිරි පීරිස්, අමල් පෙරේරා
ගේය පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය : සුරේෂ් මාලියද්ද 


Image result for loveකාන්තාව මේ සමාජය තුළ
අත්‍යන්තරයෙන්ම නිබඳව කතා බහට ලක්වන්නීය. මග නොටේදී, ‍රැකියා ස්ථාන වලදී, පොදු ස්ථානවල දී, ප්‍රසිද්ධ මාධ්‍යයේදී කාන්තාව තරම් කතා බහට ලක්වන චරිතයක් තවත් නොමැති තරම්ය. වරෙකදී ප්‍රශංසාවට ද, වරෙක නිර්ධය අපහාසයට ද ලක්වන ඇය, මෙලොව අරුත්බර කිරීමට මානව වර්ගයා බිහි කරමින් මෙන්ම විවිධ කටයුතු ඔස්සේ දායක වන්නීය. මහා සෙනඟ පිරුණු තැන්හි දී පවා නිරුවත් වන ගැහැණු හිත් සමාජය මෙන්ම සදාචාරාත්මක සීමා වලින් ද කො‍ටුවී සිටියි. සිතැඟි පරිදි කිසිවක් කිරීමට ඉඩක් නොලත් සාම්ප්‍රදායික ගැහැණිය ඉඩ ලද මොහොතේ දී  සීමා මායිම් බිඳ දමා අවැසි දේ සොයා යන්නට දෙවරක් නොසිතන්නීය. ලෝකය ඉදිරියේ නොදැනුවත්වම නෙත් වලින් නිරුවත් වන් ගැහැණු හිත, සහසක් චිත්ත පරපීඩා, දෝමනස්සයන් සිතෙහි සඟවා සිටින්නීය. ආලය බැඳී ඇත්තේ හදවතේ පරම පිවිතුරු තැනකය. ඒ බැඳීම වෙලු වරපටය රාගයයි. එකිනෙක සම්බන්ධ වී පැවතියත් ආලය ඉදිරියේ රාගය හුදු ආශ්වාදයක් පමණි. ආශ්වාදයේ ආදීනව මැනවින් ගීතය තුළ නිරූපණය වෙයි. නිරුවත් ගැහැණු කය මිස ඒ තුළ සැඟව ඇති මානුෂීය හැඟීම් තේරුම් නොගත් සමාජයක දී, මිනිසුන් උත්සාහ කරන්නේ රිදෙන, කකියන, විලාප දෙන ගෑණු හිත් කියවන්නට නොව ස්වකීය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමටය. මෙබඳු අසම්මත ප්‍රේම කතාවලදී ගැහැණිය විශේෂ අකුරු දෙකකින් සමාජය හංවඩු ගසන නමුදු එවන් පිරිමි හිත් දෙකක් තුළ විඳින විඳවන ඇගේ හැඟීම් කිසිවෙකු තේරුම් නොගනු ඇත. 


ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි අතර බොහෝ ප්‍රේම කතාවල මූලික අරමුණ රාගයයි. ඉස්සර අපි කියවූ පොත් වල, ගීත වල තිබුණේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ බවයි. එහෙත් අද සමාජයේ එබඳු ආධ්‍යාත්මික සබඳතා දක්නට නොමැතිය. දෙදෙනෙකු ආදරයෙන් ඔවුනොවුන් සමීප වන විට ඔවුන'තර රාගී අදහස් ජනිත වීම නොවැළැක්විය හැක්කකි. ඇත්තෙන්ම ප්‍රේමය එවන් සන්ධිස්ථානයක් කරා ළඟා නොවන්නේ නම් එය ද ගැටලුවකි. මන්ද පෘතග්ජන මිනිසා ගේ සිතැඟි හිමාලයේ බවුන් වඩන මුණිවරයෙකු ගේ මෙන් නොවන බැවිනි. එබැවිනි ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි බැව් සනාථ වී ඇත. ලෝකයේ අඛණ්ඩ පැවැත්මට එය අතවශ්‍ය සාධකයකි. 


Image result for sharing love
ගීතයට පාදක වන්නේ එබඳු ගැහැණියකගේ චිත්ත අභ්‍යන්තරයයි. ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි අතර, එවැනි සිදුවීම් වල අවසානය සිත් බිඳුමකි නැතහොත් සිත් රිදුමකි. අනියම් සබඳතා අපි හිතනා තරමට ම සමාජ විරෝධී නොවනු ඇත. එහෙත් මගේ වෑයම අනියම් පෙම සාධාරණීකරණය කිරීම නොවෙයි. අප ජීවත් වන සමාජ වටපිටාව, ඇදහීම් මත ඒ බව රඳා පවතිනු ඇත. ආදරයත් රාගයත් එකිනෙකින් ස්වායත්ත නැති අතර ඒවා අති සුන්දර මානව හැඟීම්ය. එබඳු ගලා යෑම් ජීවිතය ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. අනියම් සබඳතා සාමාන්‍ය සමාජය තුළ ප්‍රතික්ෂේප කිරීමකට බඳුන් වූවද, චිත්ත ප්‍රීතිය නොහොත් එබඳු අනියම් පෙමකින් ලබන අසීමාන්තික සැනසුම කිසිම විටෙක ලඝු කොට නොසැලකිය හැකිය. සාම්ප්‍රදායික රාමුවකව සිරවී සිටින ගැහැණියකි. ඇය සිය සිත සනසා ගනු වස් මෙන්ම ඇයට නොලැබෙන සුවයක් කරා ඇදෙන්නේ රාගය තරම් සිත දවන තවත් සිතුවිල්ලක් ලොව නොමැති නිසා වන්නට හැක. එය බොහෝ දෙනෙකුට අශික්ෂිත වූවත් අර සාම්ප්‍රදායික ගැහැණියගේ රාමුවෙන් බැලූ කළ එතරම් ම ගැටළුවක් නොවන බව පෙනෙයි. මේ ගීතය පුරාම ඇසෙන්නේ එකිනෙකට වෙනස් හදවත් තුනක විලාපයයි. ඒ  අර ගැහැණිය, ඇගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා මෙන්ම ඇය හා පෙමින් බැඳුණ තරුණයා ය. නිරුවත් ඇග කිසිම විටෙක නොපෙන්වවන අතර, පෘතග්ජන මිනිසුන්ගේ සිතේ නිරුවත මැනවින් විද්‍යාමාන කරයි.


Related image
කතා තුනක් සහ එකිනෙකට වෙනස් චරිත තුනක්. මේ සියල්ල එකම කතාවකට එකතු වෙලා. කතාව නිහඬවම ගලා යන්නේ ඔවුනොවුන් ගේ සිත් තුළ පවතින වික්ෂිප්ත මනෝ භාවයන් ද විවර කරමිනි. විරාගික මිනිසෙකු හා රාගී මිනිසෙකු  අතරට මැදි වූ ගැහැණිය. වෙසෙසින්ම ඇගේ සිත රාගික මිනිසා වෙතම දිව යන අතර, එහෙත් ඇය රාගික මිනිසා වෙතට බන්ධනය වී සිටින්නීය. ඇය තමාගේ විරාගික සැමියාටත් රාගික ප්‍රේම වන්තයාටත් ප්‍රේම කරන්නීය. රාගී විරාගී දෙහදක් අතර ඇය දෝලනය වන්නීය. ඇගේ උඩු සිත හා යටි සිත ඇයව ඊට මෙහෙයවන ආකාරය ගීතය පුරාම මැනවින් පෙන්වයි. රාගයෙන් අන්ධ වූවෙක් ට තේ කෝප්පයේ සිටින කුහුඹුවා පවා නොපෙනෙන අතර විරාගික මිනිසා එය හඳුනා ගනී. මුනිවර ආදරක් හා සරාගයට මැදි වූ ගැහැණිය ද රාගයෙන් අන්ධ වී සිටින්නීය. "විරාග රාගය අතරේ තනිවූ ආලය" කියද්දීම මුළු ගීතයේම අදහස සැකෙවින් රසිකයාට අවබෝධ වන අතර, කවුද විරාගිකයා සහ රාගිකයා යන්න පෙන්වා දෙයි. රසවත් අර්ථ රසයක් එක්ක ගලා යන මියුරු ගීතයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය. ගේය පද මාලාවේ ප්‍රබලත්වය, අපූරු වචන ගැලපීම, සංගීතය, වෙනස්ම හඬ පරාසයන් තුනක සංයෝජනය, රූප රචනයේ තිබෙන අධි තාත්ත්වික සිදුවීම් වල ගලා යෑම පෙර නොවිඳි රසාස්වාද ජනක සුවයක් රසිකයාට ලබා දෙන්නට සමත් වී ඇති බැව් මේ ගීතය හදවතින්ම රස විඳි රසිකාවියක ලෙස මේ සටහන තබන්නේ අතිශය නිරාමිස ප්‍රීතියකිනි.


ආදරය ඔබේ සිතට දැනෙනවා ද? ඔබේ හදවත අයදින්නේ ඔහු හෝ ඇය නම් සංංස්කෘතියට කො‍ටු වෙලා කලෙකදී දුක් විඳිනවාට වඩා ඒ ආදරයට ඔබේ ඉඩ ලබා දෙන්න. අප නිරන්තරයෙන් සොයන අසීමාන්තික සැනසීම ඇත්තේ ඒ තුළ වන්න ට පුළුවනි. කියා ගන්න බැරි වචන දහසක් හිතේ තද කරන් මැරී මැරී උපදින ජීවී ආත්ම අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එවන් අවස්ථා ජීවිතය කණපිට හරවන්නට එන බලවේග මෙන්ය. එබඳු බලවේගයන්ටකො‍ටු නොවීමට විචාරශීලී ගැහැනියට හැකි විය යුතුය. ජීවිතය තුළ දී අප ළඟා කරගත යුතු එකම දේ ආදරය නොවන මුත් ජීවිතය ජීවත් කරවීමට අවශ්‍ය ශක්තිය ගැබ් ව ඇත්තේ ඒ තුළ විය හැකිය.


Related image
රාගී, විරාගී සිත් දෙකක් අතර සිදුවන මෙම ඝට්ටනයේ අවසානයක් පැවතිය යුතුමය. එහෙයින්  එක් පාර්ශවයක් අනිවාර්යයෙන්ම පරාජිතයින් වනු ඇත. අසම්මතයට ගරහන ලෝකයක, එය කුමන හේතු මතවත් සමාජය සාධාරණීකරණය නොකරනු ඇත. එහෙයින් කවුරුන් දිනයිද පරදියි ද යන්න ඔබටවත්, මටවත් නිශ්චය කළ නොහැක. ඔබ අසම්මත යැයි හඳුනා ගත් සියල්ලම අසම්මතය නොවන බැව් සිත්හි දරා ගත යුතුය. ප්‍රේමය ප්‍රවාහයක් නිසා ප්‍රේමය සැබෑ ප්‍රේමයක් වන්නේ එහි හට ගැනීම නිසා නොවේ. කිරීම් තුළය. ප්‍රේම කිරීම තුළ සිදුවන ප්‍රේම හුවමාරුවත් එහි අහිමි වීමත් ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වූවකි.  ආයෙත් ආදරයෙන් හමු වෙමු. 

-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

No comments:

Post a Comment