Thursday, August 2, 2018

1818 වෙල්ලස්සේ අභීත ජන අරගලය

බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු 
ස්වර්ණ භූමියේ  මනරම් මාළිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් 
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ... මාළිගාව කෝ.... 

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ 
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටක‍ටු 
සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි... විලාපය නඟයි...

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කපා ඉන් ක‍ටු කම්බියෙන් බෙදා වෙන් කළ  
උන්ගේ හිස ගසා දමනා කඩුව බිම දමවු.... කඩුව බිම දමවු....

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් 
ගායනය    : ගුණදාස කපුගේ  ශූරීන් 
සංගීතය   : ගුණදාස කපුගේ  ශූරීන් 


රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් මොණරාගල රාජකීය විද්‍යාලයේ සේවය කරද්දී පාසලේ වැඩ අවසන්ව නවාතැනට යන මොහොතේදී  මොණරාගල කච්චේරිය වටකරගෙන මහා විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා. එවකට පැවැති රජය ඌව වෙල්ලස්සෙන් අක්කර 35,000 ක් බහු ජාතික සමාගමකට උක් වගාව වෙනුවෙන් පවරා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වූවේ එවකට ඌව වෙල්ලස්සේ ජනතාව විසිනි. ඔවුන්ගේ සටන් පාඨය වූයේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ඇට ක‍ටු යට වුණු ඉඩම් බහු ජාතික සමාගම් වලට පවරා නොදෙන්න යන්නයි. රත්න ශ්‍රී මොහොතක් කල්පනා කරනවා වෙල්ලස්සේ ඉතිහාසය ගැන. මේ ගීතයට පාදක වූ අත්දැකීම වන්නේ එම සිදුවීමයි.


ඌව වෙල්ලස්ස යනු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයකි. ඉංග්‍රීසින් උඩරට රාජධාණිය යටත් කර ගත් පසු දියත්වූ පළමු ජන අරගලය ආරම්භ වුයේ අහිමානවත් වෙල්ලස්ස වාසින්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. උඩරට රාජධානි සමයේ දී ප්‍රධාන කෘෂි කාර්මික ප්‍රදේශයක්ව පැවති ඌව, වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල වැසියෝ වඩාත් රාජපාක්ෂිකව සිටියහ. මුස්ලිම් වරුන් මේ ප්‍රදේශ වල වෙළඳාමේ යෙදීම තුළින් බ්‍රිතාන්‍යයන් ගේ හොඳහිත දිනාගෙන තිබූ අතර, ඔවුන්ගේ ඉල්ලීමකට අනුව එම ප්‍රදේශය පාලනයට මුස්ලිම් මුහන්දිරම්වරයෙකු පත් කරන ලදී. එමඟින් කුපිත වූ වැසියන් ඊට විරෝධය පෑවෝය. පසුව රාජාධි රාජසිංහ රජුගේ නෑදෑයෙකු බව කියාගත් දොරේසාමි නැමැත්තෙකු රජකමට ඉදිරිපත් වූ අතර, ඒ සඳහා කැප්පෙටිපොළ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ කොහුකුඹුරේ මොහොට්ටාල, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහ බදුල්ලේ ගම්මානේ රටේරාල, වැනි සිංහල ජන නායකයින් ඊට සහයෝගය දෙනු ලැබීය.  


මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පාලනයට පත් කිරීමට එරෙහිව සිංහල ජන කොටස් ද දොරේසාමි වෙත යොමු වූ අතර, විශාල ජන බලයක් ඔහු වටා ගොඩනැගෙමින් පැවතුණි. මේ නිසා බ්‍රිතාන්‍ය පාලකයන් ඔහු අත් අඩංගුවට ගැනීමට තීරණය කරන ලදී. කැ‍රැල්ල ඌව ප්‍රදේශයට පමණක් සීමා කිරීමට බ්‍රිතාන්‍යයන් කොතෙකුත් උත්සාහ කළද, මේ වන විට ඉංග්‍රීසි පාලනය පිළිබඳව ජනතාව තුළ පැවති අප්‍රසාදය මෙන් ම බ්‍රිතාන්‍ය හමුදා භටයන් අනුගමනය කළ දරුණු ක්‍රියාමාර්ග ද නිසා එය නොබෝ කලකින් ම ජාතික නිදහස් සටනක ස්වරූපය ගත්තේය. 


මීට එරෙහිව 1818 කැ‍රැල්ල හට ගත් අතර කැ‍රැල්ල පාලනයට රොබට් බ්‍රවුන්රිග් විසින් මාෂල් ලෝ හෙවත් යුධ නීතිය පනවන ලදී. තවද කැ‍රැල්ල මර්දනයට බ්‍රවුන්රිග් ඉන්දියාවෙන් අතිරේක හමුදා ඉල්ලා සිටියේය. අවුරුදු 15 ට වැඩි කිසිවෙකු වෙල්ලස්සේ ඉතිරි නොකරන්නටත්, හරකා බාන, වතු පිටි ගිණි තබා 30,000 කට අධික පිරිසක් ඝාතනය කරන ලදී. එවකට ජන ගහනය ද අද තරම් නොවුණු අතර 30,000 ක් යනු සැළකිය යුතු ප්‍රමාණයක් විය. පැන ගත හැකි වූ පිරිස කුඹුක්කන් ඔය දිගේ, හැඩ ඔය දිගේ පානම් පත්තුවට පැන ගොස් රහසේ ජීවත් විය. ඔවුන් "බයෙන් පැන ගිය අය" හෙයින්  "බය ඈයෝ" බයියන් ලෙස හැඳින්වීය. 



Related imageසිංහලයින් පසු කරමින් සිටියේ ඉතාම දුෂ්කර වකවානුවකි. ආහාර පාන පවා සොයා ගැනීම දුෂ්කර වූ අතර ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූහ. එතරම්ම භීෂණයක් එවකට වෙල්ලස්සේ පැවතුණි. ඒ අනුව වෙල්ලස්ස භූමිය පුරා ඇත්තේ අතීත මුතුන් මිත්තන් නිදන සීතල පොළවයි. සිංහලයින්ගේ ස්වාධීනත්වය ‍රැක ගනු වස් ඔවුහු දිවි පුද කළ අතර, අභිමානවත් වෙල්ලස්ස ගොඩ නැගෙන්නේ ඔවුන් නිදන සීතල පොළව මතිනි. 

රත්න ශ්‍රී අතින් ගීතය ලියවෙන්නේ සබරගමුව සමන් දේවාලය ගැන ලියවුණු ජන කවියක ලක්ෂණ පාදක කර ගනිමිනි. 

               කන්ද උඩින් බැස්ස කළට පෙනේ උළු     මාලිගාව
               බිම්බරකුත් සෙඟ ඇවිත් රුවට  දිලෙන මාලිගාව
              උදේ හවා දිස්න දිදී රන් කොත් බබලන   ස්වභාව 
              ලංකාවට තිලකයක් ය සබරගමුව           මාලිගාව


එදා වෙල්ලස්ස වාසින් රජයට ආයාචනා කළේ එවන් පාරිශුද්ධ බිමක් බහු ජාතික සමාගම් වලට පවරා නොදෙන ලෙසයි. එදා වෙල්ලස්ස වැසියන් දිවි පුදා ‍රැක ගත් බිමෙහි උරුමය ඔවුන්ට ලබා දෙන ලෙසයි. හටන් කවියක ස්වරූපයෙන් ලියැවුණ මේ ගීතය පුරාම කියැවෙන්නේ අභිමානවත් සිංහලේ උරුමයයි. එවන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී ජාතියක ට අද අත්ව ඇති ඉරණම දනී නම් මේ මහ පොලොවේ නිදන මුතුන් මිත්තන් ද කම්පා වනු ඇත. කැළෑ එළි කිරීම නිසා මුතුන් මිත්තන් ගේ සීතල ඇට ක‍ටු පවා විලාප නැගූ බව කවියා අවධාරණය කරයි. එදා රජය විසින් සිදු කළ අන්තනෝමතික ක්‍රියාවට එරෙහිව ජනතාව පෙළ  ගැසුනේ මේ භූමිය තව දුරටත් මතු පරපුරට ‍රැක ගත් යුතු නිසාවෙනි. 

අවසන වෙල්ලස්ස කැ‍රැල්ලට සපිරෙන්නේ වසර 200 කි. එදා වෙල්ලස්සේ අභීත ජනයා ගෙන ගිය අරගලය නොවන්නට සිංහල ජාතියේ ඉතිහාස කතාව වෙනස් වන්නට ඉඩ තිබුණි. අද අප විඳින නිදහස පසුපස සැඟව ඇත්තේ වෙල්ලස්ස ජනයාගේ සුසුම් හා දා බිඳුය. ඔවුන්ගේ ශෝකී කඳුළු කතාවය.


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

1 comment: