Thursday, July 20, 2017

(අ)හිමි ආදරය

Image result for love


සිනා පොදක් වී ඔබගේ දෑසේ - නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් දී ඔබගේ දෑසින් - ගිලිහී යන්නට උරුම කළේ ඇයි..

සෙවණැල්ලක් සේ ඔබ දිවි ගමනේ - අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා - වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුළක් සේ ඔබ හද උයනේ - විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අවුරා - අසරණ කර දා සැඟව ගියේ ඇයි...

 සිනා පොදක් වී....

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 


ජීවිතය වනාහී කඳුල, සතුට අතර දෝලනය වන්නා වූ දෙයකි. මව්පිය ඇසුර ලබන යුවතියක් ඉන් අනතුරුව ආදරය බලාපොරොත්තු වන්නේ පෙම්වතාගෙනි. බොහෝ බලාපොරොත්තු රාශියක්  සමඟ ආදරයට අත්පොත් තබන ඇයට නොසිතූ, නොපැතූ මොහොතක ආදරයෙන් සමුගන්නට සිදුවීම කෙතරම් වේදනාවක් ?

මා බොහෝ පැතුම් සිතේ දරා ගතිමි. ඔබ හැර කිසිවෙක් නොපැතුවෙමි. මේ පැතුම අදට පමණක් පැතුවක් නොවේ. ජීවිත කාලය පුරාම ඔබේ වන්නට ප්‍රාර්ථනා කළෙමි. ඒත් අද, සිනහවෙන් ඔබ හා ගෙවූ කාලය අත්හැර දුකට උරුමකම් කීමට මට සිදුවී ඇත. වත කමල මත මූර්තිමත් වූ සිනහව වෙනුවට දැන් ඉතිරි වී ඇත්තේ කඳුලැලි පමණි.


Related image
 ඔබ සමඟ එක්ව අතිනත ගෙන එකම මඟක යන්නට පැතුම් පැතූම් පැතූ මට මේ දිවි ගමනේ ඔබගේ අත්වැල ලිහා දමන්නට සිදුවී ඇත. ඔබ හට සෙවණැල්ලක් වෙමින්, ජීවිතයේ අනේවිධ වූ දුක්ඛ දෝමනස්සයන් හමුවේ නොසැලී දිවි ගමන ඔබ හා තරණය කරන්නට ඉටා ගත් මට අවසානයේ දී සැබැවින්ම සිදු වූයේ කුමක්ද? සදානුස්මරණීය ප්‍රේමය, සැබැවින්ම  කඳුලෙන් පිරි අනුස්මරණීය සිහිවටනයක් බවට පත් කළේ ඔබයි. ජීවිතයට පැමිණි කුළුඳුල් ආදරයත් ඔබ මට අහිමි කළේ එපරිද්දෙනි.


ලෝකය විචිත්‍ර වන තරමට එහි ජීවත් වන මිනිසුන්ගේ සිත් විවිධාකාරයි. මිනිසුන් සියයක ගේ සිත් සීයක්. දාහකගේ සිත් දාහක්. අතරේ අපි සොයන්නේ වඩා ප්‍රභාෂ්වර සිතක්. ආධ්‍යාත්මික ආදරයට හදගුලු විවර කළ හැකි සිතක්. රචකයා පෙම්වතියගේ සිත මල් කැකුළකට සම කළේ එහෙයිනි. ඔබගේ හදවත නැමැති මල් උයනේ සුපුෂ්පිතව සුගන්ධයෙන් ඔපවත් වූ අයෙකු වන්නට මා පැතූ පැතුම්, අකාලයේ මිලිනව යනු දැකීම මා හට සිත් නොදෙයි. නමුත් ඔබගේ හද උයනේ මා වෙනුවට තවකෙකු වෙනුවෙන් දොරගුලු විවර වනු ඇත.

සැබෑ ආදරය මෙයද? පරිත්‍යාගය, කැපවීම නොමැති හුදෙක් කායික සැපත පමණක් මුදුන් පමුණුවා ගැනීමට යත්න දරන මිනිස් ජීවිතයේ ඉම කොතැනද? පෙම්වතිය ගේ සිත තුළ මැවී තිබූ ප්‍රේම රාජ්‍යය බිඳ වැටෙයි. අරාජික තත්ත්වයට පත් ඇය හසරක් නොදකී. සියළු දෑ අවසානයේ ඇයට උරුම වූයේ ටුකත්වය, කඳුළු සහ රිදුම් දෙන හදවත පමණක් නොවේද? මෙය ආදරය ? ආදරය මෙසේ විය යුතුද?


Image result for no love images
පෙම්වතියගේ සිත මෙතරම් සියුම් ලෙස විග්‍රහ කරන්නට රචකයා දැක්වූ සමර්ථතාවය පැසසිය යුත්තකි. කොයි කවුරුත් ආදරය කරන්නේ හුදෙක් සැප සම්පත් බලාපොරොත්තුවෙන් නොවේ. ආදරණීය හදවත් දෙකක් එකට පෑහීම පමණක් ඊට ප්‍රමාණවත් ය.. මෙකී යුවතියට පැවතියේ ඉතා සරල ආශාවන්ය. නමුත් ඇය අවසානයේ වල්මත් වූ එකියක සේ ආදරය නැමැති නිරුදක කතරේ තනි වූවාය. අහිමි බව දැන දැනත් ආදරය මඟ හරින්නට නොහැක. මේ ආදරය පසු පසම ලුහුබැඳ එන අනන්ත වේදනාවෙන් සැඟවෙන්නට ඇයට තැනක් තිබුණා නම්, මේ සිදුවීම මෙතරම් ශෝකාලාපයක් නොවනු ඇත.

බොහෝ දෙනෙකුට ආදරය අවසානයේ ඉතිරි වන්නේ දුක, කඳුල පමණි. මෙසේ වන්නේ ඇයි? ආදරයේ අවසානය එසේ විය යුතුදආදරයේ අවසානය විවාහයෙන් කෙළවර වන්නේ කෙතරම් කලාතුරකින් ? ආදරයත් සමඟ එන විරහව ඉවසීමේ දොරගුලු කඩා බිඳ දමයි. නමුත් පෙම්වතිය ඉතා සංවේදීව එය දරාගත් අයුරු කෙතරම් අපූරු ? ඔබේ හදවතේ ඇති ගැඹුරුම තැනෙහි ආදරය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න.


- චමෝදි විතානගේ -

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

Monday, July 17, 2017

බලා වැළපෙමි නෙළා ගනු බැරි හන්තාන සිහිනේ

Image result for love and hand

සුභාවිත ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහෙනු ඇත.

ආදරය සැබැවින්ම සුන්දරය. එපමණටම පවතින බාධක මහත්ය. ගීතයට පාදක වූයේ සරසවි ප්‍රේමයකි.  තරුණියක හා සරසවි ඇදුරෙකු අතර පැවති ආදර අන්දරය ගීතයේ වස්තු බීජයයි. හන්තාන කඳු පෙළ හා ආදරය අතර ඇත්තේ අසීමාන්තික බැඳීමකි. හන්තාන යනු ප්‍රේමයේ පාරාදීසයයි. එබැවින්ම බොහෝ ගීත රචකයන්ගේ ගීත වලට පාදක වූයේ හන්තාන කඳු පෙළ හා ඒ සම්බන්ධ ආදරයයි.


බලා වැළපෙමි නෙළා ගනු බැරි 
Related image
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ 
හන්තාන සිහිනේ...

වැහි පබළු යට රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නො එනු මැන ළඳුනේ..

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුනු පෙම් ගී අහන්නම්
සොඳුරු  සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...
                                                  
කිසිදා ළඟා කරගත නොහැකි සිහිනයක තමා අතරමං වී ඇති බැව් තරුණිය කියන්නීය. ආදරය යනු නිර්වචනයක් දිය නොහැකි මහා ආත්මාර්ථකාමී හැඟීමකි. තමාගේ ආදරය තමාටම මිස වෙනෙකෙකුට හිමි වනවාට නොකැමැති ඇය උපේක්ෂාවෙන් ඒ හැඟිම විඳ දරා ගැන්මට සූදානම් වන්නීය. නමුදු කිසිදා ළඟා කර ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂව පැවතිය දීත් තමාට ඒ සිහිනය ඉ‍ටු කර දීමට වෙහෙසෙන්නැයි සරසවි ඇදුරා අයදියි. 

ඇයට අවැසි වන්නේ මුළු සරසවියට ම පෙනෙන්නට ඔහු හා තුරුළු වෙන්නටය. ආදරය බෙදා හදා ගන්නටය. නමුදු ඒ කිසිවකට සිත එකළස් කර ගැන්මට ඔහුට නොහැකිය. ස්වකීය බිරිඳගේ වෙන්ව යාමෙන් හිස් වූ ගිලන් වූ ඔහුගේ හදවත තෙමා සුරකිනු පිණිස ආදරයෙන් දොවන්නට ඇය සැරසෙන්නීය. නමුදු ඔහු පවසන්නේ සිය ප්‍රිය බිසවගේ වෙන්ව යාමෙන් හුදෙකලා වූ ඔහුගේ විජිතය තුළ ඇයට ඉඩක් ලබා දීම ඉතා අපහසු බවයි. තමාගේ හදවත තුළ ගිලන්ව පවතින දැඩි ශෝකාන්ධකාරය නිසා ඇයගේ පැමිණීම නොමනා යැයි ඔහු පවසයි. 


Image result for love between twoතරුණිය කිසිවකින් නොසැළෙන්නීය. මහා මේරු පර්වතය මෙන් සියළු දුක්ඛ දෝමනස්සයන් දරා හිඳින්නීය. ඇය පවසනේ ඕනෑම කාලයක් ඇයට ඉවසාගෙන සිටිය හැකි බවකි. ආදරය වෙනුවෙන් ඕනෑම කැප කිරිමකට ඇය සූදානම් බව ඇය පවසන්නීය. 


කෙදිනක හෝ ඇගේ සිහිනයට ඔහු වඩින තුරා උපේක්ෂාවෙන් බලා හිඳින බැව් ඇය පවසන්නීය. පෙම්වතාට වුවද ඇගෙන් මිදෙන්නට සිත් නොදෙයි. කර්කෂ ආදර සංග්‍රාමයකින් හෙම්බත්ව සිටින ඔහු, ඇගේ බොළඳ ආදරය හමුවේ ඉමහත් චිත්ත ප්‍රීතියකට පත්ව ඇත. 


කෙසේ වෙතත් අවසානයේ ප්‍රේම සංවාදය නිම වන්නේ පෙම්වතාගේ ළයාන්විත ආයාචනයෙනි. එනම් තමා එන තෙක් ‍රැඳී සිටින්නැයි ඔහු කරන ඉතාම බැගෑපත් එහෙත් ආදරණීය ආයාචනයෙනි. 


මේ ගීතයට විවිධ අරුත් තිබිය හැකඑය මට වැටහෙන්නේ එ පරිද්දෙනි.

මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයෙකු වන ජානක සිරිවර්ධනයන් ය. නාද රටා අරුණ ගුණවර්ධනයන් ගෙන්ය. ගීතයට හඬ මුසු කළේ හෙළයේ මහා ගාන්ධර්වයාණෝ සමඟ උමාරියා ය. කලකට පසුව සිංහල ගීත සාහිත්‍යට එක් වූ අපූර්වතම නිර්මාණයක් ලෙසින් මෙය පෙන්වා දිය හැකිය. 


ගීතයට සවන් දෙන්න : https://www.youtube.com/watch?v=PuEJOfjAkLU


කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි-