එක්තරා පොහොසත් පවුලක තරුණියක් හා දුප්පත් පවුලක තරුණයෙකු අතර ලස්සන ආදර කතාවක් තිබුණා. මේ දෙන්නට දෙන්නා පුදුම ආදරයකින්, ලෙංගතුකමකින් හිටියා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තරුණියගේ නිවසින් මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙනවා. ඒ මොන දේ වුණත් මේ සම්බන්ධෙ නතර කරන්න දෙමව්පියන්ට නොහැකි වුණා. අවසානයේදී තරුණියගේ දෙමව්පියන් ඇයව නිවසේ සිර කළා. නමුත් තරුණියගේ ලොකු අක්කා මේ සම්බන්ධයට උදව් කළා.
අක්කගේ මාර්ගයෙන් දෙදෙනාම ඔවුනොවුන් නොදැකම අවුරුදු තුන හතරක් මේ සම්බන්ධය පවත්වාගෙන ගියා. ඇහැට නොදකින කඩදාසියකට පමණක් සීමා වුණු මේ අරුම පුදුම ප්‍රේමය, අකුරක් අකුරක් ගානේ තවත් අවුරුදු ගණනාවක් දළු දැම්මා.
කාලය මේ විදිහට ටිකෙන් ටික ගෙවිලා ගියා. ඔය අතරතුර දෙමව්පියෝ මේ තරුණියට විවාහ යෝජනාවක් ගෙනාවා. ඉක්මනින් කාලය ගත වුණා. මේ වෙලාවේ ඔවුන්ට උදව් කරන්න අක්කටවත් පුළුවන් කමක් තිබුණේ නෑ. විවාහයට දවස් දෙකක් තියලා අන්තිම මොහොතේ කොල්ලට පුළුවන් වුණේ කෙල්ලගේ හිත සනසලා ලියුමක් දාන්න විතරයි. අඩුම තරමේ පැනලා යන්න පුංචි ඉඩක්වත් තරුණියගේ නිවසින් තියලා තිබුණේ නෑ. කොල්ලා ලියුම යවලා බලාගෙන හිටියා පිළිතුරක් එනකම්. ඒත් පිළිතුරක් ආවේ නෑ.
ඒ වෙනුවට තරුණියගේ අක්කගෙන් හදිසි විදුලි පණිවිඩයක් ආවා.
"මල්ලී ඉක්මනට එන්න.."
ඔහු පුළුවන් තරම් ඉක්මනින් ගියා තරුණියගේ නිවසට. ඔහු යනකොට ඈත තියාම දකිනවා නිවස සුදු පාටින් සරසලා තියෙනවා. නොයෙකුත් සිතුවිලි දහසක් ඔහුගේ සිතට නැගුණා. මේ කිසි දෙයක් නොසිතා සිතට ධෛර්යය අරගෙන ඔහු නිවස ඇතුළටම ගියා.
දුටු දෙයින් ඔහුගේ මුළු ලෝකයම දෙපතුළ මුල කඩාගෙන වැටුනා. අවුරුදු ගාණක් හිතින් ආදරය කරපු,දැක ගන්න නැතත් කවදා හරි බලන්න හිතපු, ජීවත් වෙන්න ආදරෙන් ශක්තියක් වුණු, තමන්ගේ පෙම්වතිය මිනී පෙට්ටියක් උඩ සදහටම යන්න ගිහින්. උගුර බැරැන්ඩි කරගෙන ආව ආදරයේ කැක්කුමත් එක්ක ඔහු නිවස දෙවනත් වෙනතෙක් ඇගේ නිසල සිරුර බදාගෙන හැඩුවා.
සිතේ උපන් දුක ඔහු පිට කරන්නේ පිටු හයක් පුරා තමන්ගේ ආදර කතාව ලියමින්. අන්තිමට තරුණියගේ සොහොන ළඟට ගිහින් අඬලා අඬලා හිස ඇරිච්ච අතේ යන්න ගියා. අන්තිමට මෙලෝ සිහියක් නැතුව ඇවිදගෙන ගිහින් කෝච්චියේ හැපිලා මැරුණා.
දින කිහිපයකින් ලේ තැවරුණු ලියුම් කවරයක් තුළ තිබී මේ ආදර කතාව, දුම්රිය ස්ථානාධිපති කෙනෙක්ට හමුවෙනවා. මේ කතාවෙන් කම්පනයට පත්වුණු ඔහු, ඔවුන්ගේ ආත්මීය ආදරය වෙනුවෙන් මේ අත්දැකීම ගිතයට නගනවා. ඒ සොඳුරු සංවේදී ගී පද රචකයා විමල් ජයශාන්ත මහතායි. ඔහුගේ ගී පද තවත් ලයාන්විතව රසිකයා හමුවට ගෙන ගියේ සනත් නන්දසිරි මහතායි.
මේ ශෝකාලාපයක් බවට අවසානයේ දී පත්වුණු ඔවුන්ගේ ආත්මීය ආමන්ත්‍රණයයි.
එදා මෙදා තුර කඳුලට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පිරූ රන් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා....
දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබේ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්....
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...
ගායනය : සනත් නන්දසිරි මහතා
පද රචනය : විමල් ජයශාන්ත මහතා
අපි දෙන්නාගේ ලෝකය පටන් ගත්තු එදා මෙදා තුළ ඔයාගේ ඇස් වලින් ගලගෙන වැටුනේ කඳුළු විතරයි. ඒත් ඒ දෑස් තුළින් ඔයා අපේ ජීවිතේ ලස්සනම මතකයන් ගොඩක් මැව්වා.. අද ඒ නෙතු සදහටම වැහිලා.
මහමෙරක් තරමට හදවතේ පිරුණු ආදරය වචනයට නැංවූ ඔබේ දෙතොල් අද මං ඉදිරියේ ගොළු වෙලා. මම ආදරය කරපු ඔයාගේ රෝස කම්මුල් අද මිලින ව සුදුමැලි වී ගිහින්.. මගේ දෑතම අල්ලන් මාත් සමඟ සෙනෙහසින් පියමං කළ ඔය දෑත් මටත් හොරෙන් ළය මඬලේ තුරුළු කරන් ඔයා අවසන් ගමන් ගිහින්.. මගේ ආදරේ නොලැබෙයි කියලා තිබුණු බයට මගේ රත්තරං මටවත් නොකියාම යන්න ගිහින්.
මගේ හිතේ උපන්න දුක, වේදනාව කඳුළු බවට පත්වෙද්දී.. මුළු ලෝකෙම ඔයා දිහා බලන් හිටියත් මට හිතෙන්නෙම එදා වගේම ඔයාව සිපගන්නයි. අවසාන මොහොතේදී හැමෝම සුවඳ නැති බව පසක් කරමින් සුවඳ පැනින් ඔයාව නැහැවූවත්, සොඳුරිය ඔබ තවමත් මට එදා තරමටම සුවඳයි.. හැමදාමත් ඒ ආත්මීය සුවඳ මාත් එක්කම තියේවි.
ඔයයි මමයි මේ ආදරයෙන් පිරුණු ලෝකය ගොඩ නඟලා වැඩි කල් නැති වුණත්, ඒ ටික කාලෙට අපේ ආදරේ අහස උසට ගොඩනැගුනේ හිතා ගන්නවත් බැරි තරම් වේගයකින්.. ඒ ආදරේ ඊයේ තිබ්බා වගේම හෙටටත් ඒ විදිහටම තියෙනවා මගේ රත්තරං.
ඒත් මගේ පුංචි කුමරියේ, අපි දෙන්නා මේ ලෝකය ගොඩ නැගුවේ තනියම නොවෙයි.. නමුත් මාව විතරක් මේ බලාපොරොත්තු කන්ද මැද තනි කරලා ඔබ යන්න ගියා.. අප දෙන්නා ගොඩ නැගූ ලෝකය ලබන ආත්මයක්දීවත් සැබෑවක් කරගන්නට මතු සසරෙත් ඔබ මගේම වී ඉපදේවා..
ගීතයට සවන් දෙන්න : https://www.youtube.com/watch?v=o15BxGxKp9A
--චමෝදි විතානගේ--
ලැබිය හැකි වරදකි. උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්යකින් ගබඩා කර ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම්ය.
No comments:
Post a Comment