Wednesday, August 31, 2016

අතීතයත් එක්ව මුසුවූ සරසවි ප්‍රේමය....


                            Image result for love walking

සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්..
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ  රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා...
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...

පෙරදින අප හමු වූ තැන නටබුන් පමණකි කඳුළක
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා...
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...


ඇය ඔහුගේ ජීවිතයට එන්නේ ඔහුගේ  අන්ධකාර දිවියට ආලෝකය උදා කරමිනි.සරසවිය යනු යොවුන් ප්‍රේමවන්තයින්ට සොඳුරු පාරාදීසයකි. අතීතයේ සරසවි ප්‍රේමයේ චමත්කාරය අද ඔහුට ශෝකාලාපයකි. ඔහුගේ ජීවිතයට වසන්තය ළං කළ ඇය සරසවි දිවිය නිමා කරනවාත් සමඟම ඔහුගෙන් සමුගන්නීය. ඔහු හා ඇය ආදර කඳු පෙළ තරණය කරමින් ගත කළ සොඳුරු දිවිය නිමා කරමින් ඇය සදාකාලික මතකයන් ‍රැසක් ඔහු වෙත ඉතිරි කර දමා නික්ම යන්නීය.

පහන් තරුව පායා විත් ඔබ එන බව පවසන විට
සරසවියේ  රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...

ඇය කිසිදා නො එන බව ඔහු දනියි. එහෙත් එය පිළිගන්නට ඔහුගේ සිත ඉඩ නොදෙයි. ඒ වග දැන දැනත් ඇය සිනහවකින් මුව සරසාගෙන් සරසවි බිමට එනතුරු ඔහු බලා හිඳී. ඔහුගේ මුවඟ සිනහා නගද්දී ඔහුටත් නොදැනීම නෙත් කෙවෙණි තුළ කඳුළු බිඳු තෙරපෙයි. ඔහු තම සිත තමාම රවටා ගනියි. ඇය ළං කර දුන් මතකයන් සමඟ ජීවත් වන්නට ඔහු දිගින් දිගටම උත්සාහ දරයි. ඇගේ මතකයන් සමඟ ජීවත් වීමට ඔහු අරගල කරයි. නමුත් කඨෝර වූ ඇත්තට ඔහු මුහුණ දිය යුතුය.


                         Image result for love

පෙරදින අප හමු වූ තැන නටබුන් පමණකි කඳුළක..
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා...

එදා පෙම්බස් දෙඩූ හැටි ඔහුට සිහිවෙයි. එක මඟ යන්නට පෙරුම් පිරූ ඔහු අද අන්ධකාරයේ මංමුළා වී මෙනි. පෙරදින ඔහු ඇය හා එක්ව ගමන් කළ මඟ දැන් ඔහු ගමන් කරන්නේ තනිවමය. සරසවි බිම පුරාවට ඇය හා ඔහු ගතකළ සොදුරු දිවියේ ආශ්වාදජනක බව දැනුදු ඔහුගේ මනසට මැවෙයි. මේ සියල්ල ඔහුට නටබුන් මෙනි.

අද ඔහු සරසවි බිමේ තනිවී ඇත. ඔහුගේ තනිය මකන්නට අද කිසිවෙකු නැත. ඇය වළා රොදක් මෙන් ඈත කඳු අතර මීදුම් අතරින් සැඟවී ගොසිනි. ප්‍රේමය නම් වළල්ලක අතරමං වූ ඔහු ඇය සොයන්නීය. ඔහුගේත් ඇයගේත් සොඳුරු මතකයන් සරසවි බිමේ සැඟව ගොසිනි. ඇය පිළිබඳ සුන්දර හැඟුම් ගොන්නක් ඔහු සතුව ඇතිවාට සැකයක් නොමැත. ආගන්තුකව ඔහුගේ දිවියට පැමිණි ඇය ඔහුගේ සිත තුළ ප්‍රේමණීය හැඟුම් පුබුදු කර අවසානයේ ඇය ඔහු තනිකර දමා ගියාය. මතුවටත් ඔහු  පතන්නේ ඇයමය....


- චමෝදි විතානගේ -

කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. උපුටා  ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ පළ  කිරීම සපුරා තහනම්ය. සියළුම හිමිකම් ඇවිරිණි.


No comments:

Post a Comment