Sunday, May 11, 2025

කළුවරට හිත බය හින්දා
ඔය පපුවෙ උණුහුම වින්දා
ඇස් බැන්දු රෑ හීන පෙන්නා
නුඹ මාව තුරුලටම ගත්තා
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ
අඳුරකද මං නැවතුනේ
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ
නොදැනෙනා දුරක නුඹ ළඟ
ආදරෙන් ආව
නොසිතෙනා ලෙසට ළං වුන
ආදරේ සුව දෙන
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ
අඳුරකද මං නැවතුනේ
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ
විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව
අපි නමින් ඇන්ද සිතුවම
මතකයකි හැම දින
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්රේමයේ

ඒ ආදරයේ සුන්දරම කාලයයි. කිරිල්ලියක සේ නිදහසේ ගලා ගිය කාලයයි. ආදරයෙන් ලද විරාමය මම ගත කලේ ඒ කාලයේ සියුම් තැන් ස්පර්ශ කරන්නටයි. 

වසර ගණනක දීර්ඝ නිහැඬියාවකින් පසුව 
ඔබෙන්  ඇමතුමක් ලැබෙයි..
"දැන් මොකද කරන්නේ?"
"මම ඒක දන්නේ නැහැ"  
මගේ පිළිතුරු  ඇත්තටම  එදා වාගෙම සැරයි..
"තවම ඔයා එතැනමයි"
"නෑ මම තව දුරටත් ඉන්නෙ එහෙ නෙවෙයි"
ආයෙම හුස්මක හඬක් යන්තමට ඇසෙයි..
"මම කියන්නේ ජීවිතේ ගැන" නැගෙන ස්වරයක් බිඳෙයි..
"ජීවිතේ වුනත් එහෙමයි, එක තැනක තිබ්බ දෙයක් නෙවෙයි"
"බඳින්නෙ කවදද? 
මට එදාට එන්න කියනවද?"  
ඒ ප්‍රශ්නේ සුපුරුදුයි.
"මගේ හීන දැන් මැරිලා ඉවරයි" 
දෙවියනි මොනවාද මේ කියවෙන්නේ.
" පරිස්සමෙන්  ඉන්නවද, උදව්වක් ඕන වුනොත්  කියනවද?"  අන්තිමේදිත් ඔබ අසයි..
"ආයෙම කවදාවත්ම කතා නොකලොත් හොඳයි "
"හ්ම් හ්ම්!"
එහෙම කියපු ඔබ මටත් හොරෙන්ම ඔබේ කසාදය තීන්දු කරගෙන තිබුනා.

Friday, May 10, 2019

දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙළා නොගත්තේ මගේ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට

විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග දැන් අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳීනම්
මවෙතින් ලැබුණු ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

                                    Image result for love images

අතින් වත් අත නො අල්ලා ප්‍රේම කළ, අයිතියක් නැතුව ප්‍රේම කළ... කිසිවක්ම, අඩුම තරමේ ප්‍රේමය තබා සිනහවක්වත් නොපතාම ප්‍රේම කල හදවත් වලට.. 

මා එක් පෙති මලක්ව සිටියදී , නෙලා නොගෙනම, පිපෙන්නට නියත විවරණ දීමම ප්‍රේමයක් බව පසක් කර දුන්නේ ඔහුය. මා ඔබ සතු කර ගන්නට සිතුව ද ඔබේ ප්‍රථම ප්‍රේමය වන්නට මට නොහැකි විය. එහෙයින් අද ඔබ නිසා මට ශේෂ වූයේ විරහව පමණි. ඔබේ නික්ම යාම තවමත් තේරුම් ගත නොහැකි හෙයින් මගේ හිත හදාගන්නට මටම සිදු විය. ප්‍රේමය යනු අයිතිකරගැනීම ම නොවන තැන බලා සැනසීම ද ප්‍රේමයම බැව් මට හැ‍ඟේ. ළං වන්නට නොහැකි තැන්හී දී සැබෑ ප්‍රේමවන්තයෝ පතන්නේ අනෙකාගේ සැපත පමණය. එය ප්‍රේමය තුළ ඇති පරිත්‍යාගශීලී බවයි. මා ඔබට පෙම් කළ තරමටම ඔබට ආදරය නො අඩුව ලැබේ නම්, මගේ මතකය තවත් ඔබ නොපෙලන්නේ නම්. තවත් දුක් ගී ගයන්නේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කරයි. 


මෙලොව ඇති අති සුන්දරම හැඟීම ආදරය සිත තුළ ඇති කරන්නේ ආශ්වාදජනක මිහිරකි. ආදරය බොහෝම ගැඹුරු ආත්මාර්ථකාමී හැඟීමකි. ආදරය සමඟ එන විරහව හදවතේ සියුම් හැඟිම් ස්පර්ශ කරයි. අහිමි ආදරය ශක්තිමත් ව දරා ගන්නට පමණක් නොව එය සුන්දර ඡායා මාත්‍රයක් ලෙස සිතා බැහැර කරන්නට හැකි නම් එයද මහා ජයග්‍රහණයකි. ආදරයේ අවසානය ප්‍රවාහයකි. සිත අධ්‍යාත්මය නම්, සිතුවිලි ගැලීමකි. ඒ ආදරය සදාකල්හිම නැහැවී, නැහැවී ගැඹුරු සන්තානයේ නිසල වේවි. මිනිසා විඳින්නේ රිදෙන තරමටයි. ගතින් වෙන් වුවද සිතින් බැඳී පවතින අපූර්ව ප්‍රේමය සැමදා මිහිරකි. 

"අප්‍රකාශිත ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයට වඩාත්, පරිත්‍යාග කළ ප්‍රේමය අයිතිකරගත් ප්‍රේමයට වඩාත් බලවත් ය. සංසාරය දිගු බැවින් නිහඬ වෙමි. අයිතිවාසිකම් නොකියමි."


චමෝදි විතානගේ  

Tuesday, May 7, 2019

ප්‍රේමාදරේ වචන සීමා නොවේ...

දිනෙක මගේ දිවි ගමනේ 
මට හිමි  නැති හදවත ඔබගේ 
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ

හමුවෙලා ‍රැඳුන කාලයේ මාගේ ළඟින් ඔයා
වරදවා දැනුනේ සිත ඔබේ ආදරේ මට කියා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ

සැරසිලා ඉන්න පෙම්වතුන් දකින විටත් එදා
සිහිවෙලා ඔබව නෙතු මගේ 
පාළුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජීවිතේටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ - ඔබේ අත ගන්නට ඒ භවේ


ප්‍රේමය වඩාත් සුන්දර වන්නේ එය අප්‍රකාශිතව තිබෙන තරමටය. එහි සුන්දරත්වය වුවද එවිට තීව්‍ර වන්නේ නිතැතිනි. මිනිසා සෑම විටම උත්සාහ ගන්නේ නොතේරෙන නොදැනෙන දේ විග්‍රහ කරමින් ඒ තුළ අතරමං වන්නටය. හරි හැටි නිශ්චිතවම තීරණය කර ගත නොහැකි සංසිද්ධි ඔවුන් විග්‍රහ කරගන්නේ එය තමාට යහපත් වන ආකාරයටය. අංශු මාත්‍රයක බැල්මකට පවා සමහර අවස්ථාවල සිත ඇදී යන්නේ ඒ නිසාය. එය ආදරයක සේයාවක් දෝ යි ඒ තුළ අතරමංවන්නේ එබැවිනි. 

දු‍ටු විගස ආදරයෙන් බැ‍ඳෙන්නට මාත්‍රයක බැල්මක් ප්‍රමාණවත් ය. ආදරයේ කෝඩුකරුවන් සදා පතන්නේ එවැනි මිහිරිතම හැඟීම ය. නමුත් අප කාලය සමඟ ගැටෙන විට, සමාජය හා ගැටෙන විට අප ආදරයට පවා බාධා පනවන්නේ සිත පවා රවටා ගනිමිනි. 

හමුවෙලා ‍රැඳුන කාලයේ මාගේ ළඟින් ඔයා
වරදවා දැනුනේ සිත ඔබේ ආදරේ මට කියා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ 
ඔබේ අත ගන්නට ඒ භවේ

ඔබත් මමත් අතර ප්‍රේම සම්බන්ධයක් නොතිබූ පමණින් අප එකිනෙකාට ආදරය නොකළ බව පිළිගන්නට බැහැ. සරලව කිව්වොත් අපි අතර තිබුණේ අප දෙදෙනා පමණක් දැන සිටි ආදරයක්. ඒ බව ඔබේ හිතත්, මගේ හිතත් දන්නා නමුදු ඒ බව පිළිගන්නට අපි එකිනෙකා සූදානම් නැහැ. ප්‍රේමයකට හැකියි හිමි වන්නටත්, අහිමි වන්නටත්. අන්න ඒ නිසයි ඔබ ඔතන ඉන්න. මම මෙතනම ඉන්නම්. කෙටි වචන තුළ මෙන්ම කාලය ගෙවී ගිය දිගු තත්පර වලදී ත් අපි එකිනෙකා මිත්‍රත්වය යන නමින් හඳුන්වාගත් සරල සුන්දර ආදර කතාවක් ඒ තුළ හැංගිලා තියෙනවා විය හැකියි.

අහම්බයකින් අප හමු වෙන දින වල, වෙන් වෙන මොහොතේ ඒ සුබ පතන ප්‍රාර්ථනය මත තියෙන ආදරය එහෙම්ම තිබුණාවේ. ඉඳහිට එවන සයිබර් පණිවුඩයක ගැබ් වෙලා තියෙන ඒ නොකී ආදරය එහෙම්ම තිබුණාවේ. ජීවිතයේ සියළු දේ සම්පූර්ණ යැයි හැ‍ඟෙන දිනක් වෙතොත් එදාට ඔබ ළඟ ඉන්න. එපමණක්ම ඇති. 

"ප්‍රේමාදරේ වචන සීමා නොවේ
ඔබ වෙයි මගේ එකම හීනේ"

සිත යනු හික්මවා ගැනීමට ඉතා අපහසු, බැඳ තබා ගත නොහැකි මෙවලමකි. ඔබට ඇත්තේ චංචල ආදරයක් නම් ඔබ ප්‍රවේසම්  විය යුතුය. මන්ද ඔබ මඟ හරින්නේ ඔබේ ජීවිතය වඩාත් සුන්දර කළ හැකි, එයට අරුතක් ලබා දිය හැකි සහකාරිය/සහකරුවා  බැවිනි. 

"ආදරය වඩා සුන්දර එය අප්‍රකාශිතව පවතින තුරු බව මට විශ්වාසයි!"

-චමෝදි විතානගේ-

Friday, February 22, 2019

ඉතින් එබැවින් නවතිමි….

බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි....
නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි.... තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි….. ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්... පෙමින් සගවා දරා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්.... සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති... ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි....

Lyrics – Saumya Sadaruwan Liyanage


දු‍ටු විගස ආදරයෙන් බැ‍ඳෙන සුපෙම්වතුන් අප අසා ඇත්තෙමු .අංශු මාත්‍රයක බැල්මක් ඔවුන්ට ප්‍රමාණවත්ය. ආදරයේ කෝඩුකරුවන් සදා පතන්නේ එවැනි මිහිරිතම හැඟීම ය. නමුත් අප කාලය සමඟ ගැටෙන විට, සමාජය හා ගැටෙන විට අප ආදරයට පවා බාධා ආදරය කරන සමයේ මෙබඳු වදන් කීවද, පනවන්නේ සිත පවා රවටා ගනිමිනි.
"ප්‍රේමාදරේ වචන සීමා නොවේ ඔබ වෙයි මගේ එකම හීනේ"

Image result for loveආදරය අයත් කර ගන්නටම ඕනෑ ද.. නැහැ!!
ඔබ දිනෙක ඔබට අයත් තැනක නවතින බව මම නොදන්නවා නෙවෙයි. මම ඔබව හදවතේ සුරකිමින් හිනැහෙන්නට කැමතියි. බොහෝ පෙම් වෘන්තාන්ත වල අවසානයේ ඉතිරි වන්නේ හදවත සැමදා රිදුම් දෙන වේදනාවක් පමණි. ඒ වේදනාව මොහොතකට යළි යළිත් ඔබේ ජීවිතයේ සුන්දර ගමනාන්ත වල ඔබව අතරමං කරනවා විය හැකිය. සදාතනික වේදනාත්මක ස්වරයක ඔබ යළි යළිත් කිමිදෙනවා විය හැකිය. කිසිදා කිසිවෙකුට දැනෙන්නට වත් ඉඩ නොහරින සියුම් රිදුමක් හදවත ඔබටත් හොරාම රිදවනවා විය හැකිය.


ඉතින් එබැවින් නවතිමි… හදින් පිටමන් නොකරමි..
නැවතීම.. සෑම දුක්බර ප්‍රේම කතාවක අවසානය යි. ඉතින් මම නවතිමි. තවත් මෙබඳු වේදනා මගේ හදවතට බර වැඩිය. ඉසිලූ දුක් කන්ද ඕනෑවටත් වඩා වැඩිය. නමුත් මම කිසිදා ඔබ හදින් පිටමං නොකරමි. සියළු දුක් වේදනා මම දරා ගන්නේ ප්‍රේමයේ නාමයෙනි.

පෙමින් සගවා දරා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්...

ප්‍රේම ගින්න සියලු අග්නි දාහයන්ට ත් වඩා සිත පෙළයි. කායික වේදනාවන් සුව කළ හැකි මුත් හදවතේ වේදනාව කිසිඳු විටෙක සුව කළ හැකි නොවේ. එහෙයින් කෙතරම් උත්සාහ දැරුව ද සදාකාලික වේදනාවකින් සිත නිරතුරුවම පෙළෙයි. එබැවින් ප්‍රේම ගීතය කිසිදා ලියා අවසන් කළ නොහැකි වන්නේය.
ආදරය වඩා සුන්දර එය අප්‍රකාශිතව පවතින තුරු බව මට විශ්වාසයි!


-චමෝදි විතානගේ-


කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

Wednesday, January 30, 2019

නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල

Related image

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...

දුඹුළු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොළ ඉඳිකටු තුඬ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල...

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය
සංගීතය : රෝහණ වීරසිංහ ශූරීන්

Tuesday, September 11, 2018

දස්කොන් - ප්‍රමිලා.. ප්‍රේමයේ නාමයෙන්


                                             Image result for daskon pramila

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී....

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ....

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ.....

රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කො‍ටුව


දස්කොන්, ප්‍රමිලා ප්‍රේම පුරාණය ලංකාව, ප්‍රංශය හා දකුණු ඉන්දියාව යා කරමින් ඇතිවූ පෙම් පුවතකි. තවද එම  ප්‍රේම වෘතාන්තය ලක්දිව මහනුවර රාජ්‍ය සමය තෙක් දිව යන්නකි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස ඔහු වෙනුවෙන් වඩුග රටින් මෙරටට කැඳවා ගෙන ආ වඩුග බිසව ප්‍රමිලා නම් වූවාය. දස්කොන් ප්‍රංශ ජාතික කාන්තාවකට දාව උපන්නෙකි. සෙල්ලම් නිරිඳු හෙවත් නරේන්ද්‍රසිංහ රජුගේ සමීපතම හිතවතා ද,ඔහුම වූ බැවින්  පසු කළෙකදී රාජ සභාවේ මහා අධිකාරම් තනතුර ද පත්වන්නේ දස්කොන් ය. 


රජ වාසල ප්‍රසිද්ධ රහසක් බවට පත් වූ ප්‍රමිලා බිසවගේත් දස්කොන් අදිකාරම්ගේත් ප්‍රේමය ආරම්හ වන්නේ, දස්කොන් මහා අදිකාරම් ධූරයට පත් වීමෙන් පසුවය. ප්‍රමිලා බිසව හඟුරන්කෙත මාළිගයේත්, රජු සෙංකඩගල මාළිගයේත් වාසය කිරීමත් එවැනි තත්ත්වයක් ඇති වීමට අවශ්‍ය වටපිටාව සලසා දෙනු ලැබීය. ප්‍රමිලා බිසව මෙන්ම දස්කොන් අදිකාරම් ද කාව්‍යත්වයට දැක්වූ නිපුණතාව ඔවුන් එකිනෙකා කෙරෙහි ළං වීමට තවත් හේතුවක් විය.

දස්කොන් ට මරණ දණ්ඩනය නියම වීමත් සමඟම ප්‍රමිලා එයින් අතිශය ශෝක වන්නීය. ආදර ගින්න, වියෝ ගින්න අන් සෑම ගින්නකටම වඩා බලවත් හෙයින් මේ සසරේ දී හිමි නොවූ දස්කොන් ගෙන් ඇය අයදින්නේ  මතු සසරේදී හෝ ඇගේ වන ලෙසයි. දස්කොන් මරණ මංචකයේ දී පවසන්නේ මෙම කවි පදයයි.


Related image   





සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි  ඔබ යනවාද
දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද


සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළදී අපට හමුවන් අභීතම, නිර්භයම ප්‍රේම වන්තයා දස්කොන් ය. දංගෙඩියට හිස තබන්නට ගිය ගමනේ දී පවා ඔහු ප්‍රමිලාට පැවති ආදරය සපථ කරන්නේය. 


          විසැස් කමලාව රස පහස නොවිඳ          මා
          දසිස් දුණි ඔරණ ඇස දු‍ටු පමණට            මා
          වෙසෙස් ඔබගේ අමයුරු පහස ලත් මෙමා
          මහිස් එකක් දුනි නම් ඔබේ නමට      කිමා

රාවණාට සීතාගේ පහස නොවිඳම ඇයව දු‍ටු පමණින් තම හිස් දහයම අහිමි කරගැනීමට සිදුවිය. එහෙයින්, ඔබේ අමෘත්තය බඳු පහස ඇති තරම් විඳි මට, මගේ එක් හිසක් ඔබේ නමට දීමට සිදුවීම සුළු දෙයක් බවයි. මනසින් ආදරේ කළ සැබෑ පෙම්වතෙක් සහ ආදරයක් සහ ආසාව අතර දුක් වූ ගැහැනියකගේ සංවේදී කතා වස්තුවට මෙරට ඉතිහාසය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

ගීත ඉතිහාසය තුළ දස්කොන් ප්‍රමිලා කතා පුවත අරභයා රචනා වූ ගීත ‍රැසකි. කරුණාරත්න දිවුල්ගනේ සහ සමිතා මුදුන්කො‍ටුව ශිල්පිනියගේ ළයාන්විත එහෙත් වේදනාබර හඬින් ගැයෙන මේ ගීතය රසික හදවත් තුළ සුවිශේෂි ස්ථානයක් ගෙන ඇත. මාළිගය තුළදී රජුගේ අවධානයට, ඇගයීමට පාත්‍ර නොවූ ප්‍රමිලා ගත කලේ කනස්සලු දිවියකි. මෙකී කනස්සලු ලසෝ තැවුල හොඳින් හඳුනාගත දස්කොන් මහා අදිකාරම් ඇයට ළං වූයේ ඇයට මෙන්ම ඔහුට පවා නොදැනෙමිනි. ප්‍රමිලා පවා බලාපොරොත්තු වූ ආධ්‍යාත්මික සුවය, චිත්ත ප්‍රීතිය ඇයට හිමි වූයේ දස්කොන් නිසාය. එහෙයින් ඇගේ සිතෙහි එතෙක් පැවති හුදෙකලා බව ඇය වෙතින් තුරන් විය.

ප්‍රේමය නම් සිතුවිල්ල හට ගන්නේ ඇසිල්ලකිනි. ඔබට තවෙකෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නට පස් මහා බැලුම් පරික්ෂා කිරීමට අවශ්‍ය නොවෙයි. හිත ගිය තැන මාලිගාව යැයි අප කියන්නේ එබැවිනි. අප ආදරයේදී දෙවරක් නොසිතා තීරණ ගන්නේ එහෙයිනි. එය එදත් අදටත් හෙටටත් පොදු ධර්මතාවයකි. දස්කොන් ටත් ප්‍රමිලාටත් සිදුවූයේ එයයි. ඔවුනොවුන් හා ආදරයෙන් බැඳුණේ එහි උචිත අනුචිත භාවය පරීක්ෂා නොකරමිනි. අවසන සිදු වූයේ දස්කොන්ට මරණයෙන් වන්දි ගෙවීමටයි. ඉතිහාසය කොතෙක් ප්‍රලාප මේ සම්බන්ධව වර නැගුවද ප්‍රේමය හමුවේ අපද අදටත් තීරණ ගන්නේ බුද්ධියට නොව හැඟීමට වහල් වීමෙනි.

මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්.. දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා.. නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්.. සක්මන් මළුව සොයාගෙන මම ආවා.. සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ.. මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ.. සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ.. බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ.. ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ.. කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ.. ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

  

Sunday, August 26, 2018

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..


වසන් වන සඳ වළාකුළකට
අඬා වැ‍ටුණට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..

මවා දී තරු රටා අහසේ 
සිනාසී උන් තරු කිනිත්තෙන් 
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැ‍ටුණා..
සරා සඳකට දරා ගන්නට බෑ... 
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ
බිඳී ගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා...
මලානික ඇස් හිනාවෙන්නේ නෑ..
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ...


රචනය : දිල්ෂාන් පතිරත්න

Related imageඉමක් කොනක් නොපෙනෙන මහා ආකාසයයි. ආකාසය රාත්‍රියට සුන්දර වන්නේත් විචිත්‍ර හැගුම් මවන්නේත් එහි ඇති චන්ද්‍රයාත් ඒ වටා බබලන තරුත් නිසාවෙනි. චන්ද්‍රයාගේ පවතින සොමි ගුණයත්, කාන්තියත් නිසාවෙන් තරු ද දිලෙයි. එහෙයින් තරු පවා ආලෝකවත් වන්නේ චන්ද්‍රයා නිසාවෙනි. යම් හෙයකින් සඳ වළාකුළකින් වැසී ගියහොත් තරු ද අඳුරේ ගිලෙන්නෝය. තරුවෙහි ඇති සුන්දරත්වය පියවි ඇසට දකින්නට නම් සඳ එළියද අවැසිමය. 



ඔහු චන්ද්‍රයා වැනිය. ඇය ස‍ඳෙන් එළිය ලබන තාරකාවකි. සඳ හිටිහැටියේ ඝණ අන්ධකාරයෙන් වැසී ගියහොත් එයට බලපෑම්  කරන්නට තාරකාවකට නොහැකිය. ඔහු  ඇය ආදරයෙන් වෙළුණු සුපෙම්වතුන්ය. ප්‍රේමය නම් මෙයැයි කියා අර්ථකතනයට පවා ලක් වූවන්ය. නමුත් කාලය හරස් වන්නේ ප්‍රේමවන්තයින්ටය. මෙලොව කිසිවක් නිත්‍ය නොවන බව පසක් කරමින් ඔහු ඇගේ නිර්මල ප්‍රේමයට සමු දෙන්නේ ඇයටත් හොරෙනි. එහෙයින් ඇය හඬා වැ‍ටුණත් කළ හැකි කිසිවක් ඇයට නොවීය. මෙවන් සංසිද්ධි වනාහී බොහෝ ගීත රචකයන්ට හේතු පාඨයක් වූ සංසිද්ධීන් ය. එදත්, අදත්  හෙටත් මෙවන් සිදුවීම් ඕනෑ තරම් සිදු වනු ඇත. කියවන ඔබ ද, මෙය ලියන මටද මෙවන් සිදුවීම් අහම්බයක් යැයි සිතුණත් එවන් සිදුවීම් බොහෝමයක් අවසානයේ එක් පාර්ශවයකට සදාකාලික දුකක් ද, අනෙකාට පසු කාලීන පසුතැවිල්ලකට ද උරුමකම් කීමට සිදුවනු නියතය. 


Related imageප්‍රේමය නම් සිතුවිල්ල හට ගන්නේ ඇසිල්ලකිනි. ඔබට තවෙකෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නට පස් මහා බැලුම් පරික්ෂා කිරීමට අවශ්‍ය නොවෙයි. හිත ගිය තැන මාලිගාව යැයි අප කියන්නේ එබැවිනි. එහෙත් අනේක විධ දුෂ්කරතා විඳ ප්‍රේමය ළගා කරගත් පසු ඔවුනොවුන්ට ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගන්නේ තමන් පැතු , තමන් අපේක්ෂා කළ පුද්ගල චරිතය මෙය නොවන බවයි. දීර්ඝ කාලීන සිතුවිලි ඝට්ටන සිදුවෙද්දී ඒ අතරට තෙවැනි පාර්ශවයක ඇල්ම බැල්ම ලැබුණොත් ඔබ දෙවරක් නොසිතා සිත නැංගුරම් ලන්නේ එ තුළය.  එය සාමාන්‍ය ස්වභාවයයි. එවන් මොහොතක දී තරුව කෙතරම් හඬා වැ‍ටුණද, එය සඳට නොදැනෙයි. මන්ද ඒ වන විටත් වළාකුලකින් සඳ වැසී ඇති බැවිනි. ආදරයේ ස්වභාවය එයයි. මිනිස් සිත පිනවීම ඉතා අපහසුය. බි‍ඳෙන, සෙලවෙන, ගැටෙන පුහුදුන් ජීවිත සෑම විටම ළං කරගන්නට උත්සාහ කරන්නේ තමාට අයත් නොවන දේය. තමා සතු වස්තූන්ගේ අගය රඳා පවතින්නේ එය සතු කරගන්නා තෙක් පමණි. ආදරයට ද ඇත්තේ මෙවන් ගති ලක්ෂණය.


ඇය එළිය කරන්නේ ඔහුගේ ලෝකයයි. ලස්සන කරන්නේ ඔහුගේ ජීවිතයයි. එළිය කරන්නේ, සැබෑ කරන්නේ ඔහුගේ හීනයි. කොටින්ම කිව්වොත් ඇය වෙහෙසෙන්නේ ඔහුගේ ලෝකය අර්ථවත් කිරීමටයි. නමුත් අවසානයේ ඔහුගේ නික්ම යාමත් සමඟ ඇයට ඉතිරි වන්නේ කඳුල, සුසුම පමණි. විරහව මෙලොව අසීරුතම හැඟීමකි. බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මුදා හළ කඳුළු වල ප්‍රමාණය සප්ත මහා සාගරයටත් වඩා වැඩි බවයි. ආදරය අපට බලෙන් ලබා ගත නොහැකි හැඟීමකි. එය හට ගන්නේ ඔබටත් නොදැනීමය. ආදරය ආධ්‍යාත්මික හැඟීමකි. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්ට බැරි බව ඔබ ද මා ද පසක් කරගත යුතු සත්‍යයකි. 


ලැබුණු දේ කොච්චර හොඳ වුණත්, වටිනවා වුණත්, හිත තදින් ඇළුම් කළ ඒ ආදරය අතීත ප්‍රේමය ඔබව දවනවා විය හැකිය. ජීවිතේ කියන්නේම අහිමි වීම හා අනවශ්‍ය දේවල් ලැබීමය. නමුත් ආදරය හමුවේ සියල්ලෝම අත් විඳින්නේ එකම අත්දැකීම් සමුදායකි. වර්තමාන ආදරය හමුවේ ඇතැම් විට ඔබ අතීත ප්‍රේමය සංසන්දනාත්මකව විමසනවා විය හැකිය. නමුත් අතීතය සිහිනයකැයි සිතා බැහැර කළ යුතුමය. අතීත ආදරය ඔබේ සිත දවනවා විය හැකිය. නමුත් ආදරය හමුවේ සියල්ලෝම අත් විඳින්නේ එකම අත්දැකීම් සමුදායකි. වර්තමාන ආදරය හමුවේ ඇතැම් විට ඔබ අතීත ප්‍රේමය සංසන්දනාත්මකව විමසනවා විය හැකිය. නමුත් අතීතය සිහිනයකැයි සිතා බැහැර කළ යුතුමය. ආදරයට ඔබ ආදරය කළ යුතුමය. එහෙත් හිතින් යන අය ගතින් බැඳ තබා ගන්නට ගන්නා පුහු උත්සාහයන් සැබැවින්ම අනර්ථකාරීය. 


ගීතය ගැන බොහෝ දෙනා පළ කරන අදහස් විශිෂ්ඨය. ඒ එම ගීතය රසික හදවත් වැළඳ ගත් ආකාරයයි. යූ ටියුබ් හි එක්තරා රසිකයෙක් සඳහන් කර තිබුණේ  "ආන්ත්‍රාවයි! ඇබ්බැහි වන සුළුයි" යනුවෙනි. එපමණකින් ගීතය කෙතරම් සංවේදීව රසික හදවත් ආමන්ත්‍රණය කළේ ද යන්න ගම්‍යමාන වේ. යුග දෙකක හඬ සුසංයෝගය රසික හදවත් අමන්දානන්දයට පත් කරන්නට සමත් වී ඇත. 


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

Monday, August 6, 2018

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු - සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා

විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය...

ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූ වා..
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා..

නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා
ඈ ලොව අහිමි වූවා..
ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙතට ආවා..

ගායනය : විශාරද අමරසිරි පීරිස්, අමල් පෙරේරා
ගේය පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය : සුරේෂ් මාලියද්ද 


Image result for loveකාන්තාව මේ සමාජය තුළ
අත්‍යන්තරයෙන්ම නිබඳව කතා බහට ලක්වන්නීය. මග නොටේදී, ‍රැකියා ස්ථාන වලදී, පොදු ස්ථානවල දී, ප්‍රසිද්ධ මාධ්‍යයේදී කාන්තාව තරම් කතා බහට ලක්වන චරිතයක් තවත් නොමැති තරම්ය. වරෙකදී ප්‍රශංසාවට ද, වරෙක නිර්ධය අපහාසයට ද ලක්වන ඇය, මෙලොව අරුත්බර කිරීමට මානව වර්ගයා බිහි කරමින් මෙන්ම විවිධ කටයුතු ඔස්සේ දායක වන්නීය. මහා සෙනඟ පිරුණු තැන්හි දී පවා නිරුවත් වන ගැහැණු හිත් සමාජය මෙන්ම සදාචාරාත්මක සීමා වලින් ද කො‍ටුවී සිටියි. සිතැඟි පරිදි කිසිවක් කිරීමට ඉඩක් නොලත් සාම්ප්‍රදායික ගැහැණිය ඉඩ ලද මොහොතේ දී  සීමා මායිම් බිඳ දමා අවැසි දේ සොයා යන්නට දෙවරක් නොසිතන්නීය. ලෝකය ඉදිරියේ නොදැනුවත්වම නෙත් වලින් නිරුවත් වන් ගැහැණු හිත, සහසක් චිත්ත පරපීඩා, දෝමනස්සයන් සිතෙහි සඟවා සිටින්නීය. ආලය බැඳී ඇත්තේ හදවතේ පරම පිවිතුරු තැනකය. ඒ බැඳීම වෙලු වරපටය රාගයයි. එකිනෙක සම්බන්ධ වී පැවතියත් ආලය ඉදිරියේ රාගය හුදු ආශ්වාදයක් පමණි. ආශ්වාදයේ ආදීනව මැනවින් ගීතය තුළ නිරූපණය වෙයි. නිරුවත් ගැහැණු කය මිස ඒ තුළ සැඟව ඇති මානුෂීය හැඟීම් තේරුම් නොගත් සමාජයක දී, මිනිසුන් උත්සාහ කරන්නේ රිදෙන, කකියන, විලාප දෙන ගෑණු හිත් කියවන්නට නොව ස්වකීය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමටය. මෙබඳු අසම්මත ප්‍රේම කතාවලදී ගැහැණිය විශේෂ අකුරු දෙකකින් සමාජය හංවඩු ගසන නමුදු එවන් පිරිමි හිත් දෙකක් තුළ විඳින විඳවන ඇගේ හැඟීම් කිසිවෙකු තේරුම් නොගනු ඇත. 


ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි අතර බොහෝ ප්‍රේම කතාවල මූලික අරමුණ රාගයයි. ඉස්සර අපි කියවූ පොත් වල, ගීත වල තිබුණේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ බවයි. එහෙත් අද සමාජයේ එබඳු ආධ්‍යාත්මික සබඳතා දක්නට නොමැතිය. දෙදෙනෙකු ආදරයෙන් ඔවුනොවුන් සමීප වන විට ඔවුන'තර රාගී අදහස් ජනිත වීම නොවැළැක්විය හැක්කකි. ඇත්තෙන්ම ප්‍රේමය එවන් සන්ධිස්ථානයක් කරා ළඟා නොවන්නේ නම් එය ද ගැටලුවකි. මන්ද පෘතග්ජන මිනිසා ගේ සිතැඟි හිමාලයේ බවුන් වඩන මුණිවරයෙකු ගේ මෙන් නොවන බැවිනි. එබැවිනි ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි බැව් සනාථ වී ඇත. ලෝකයේ අඛණ්ඩ පැවැත්මට එය අතවශ්‍ය සාධකයකි. 


Image result for sharing love
ගීතයට පාදක වන්නේ එබඳු ගැහැණියකගේ චිත්ත අභ්‍යන්තරයයි. ප්‍රේමය රාගයෙන් වත්, රාගය ප්‍රේමයෙන් වත් වෙන් කර හැඳින්විය නොහැකි අතර, එවැනි සිදුවීම් වල අවසානය සිත් බිඳුමකි නැතහොත් සිත් රිදුමකි. අනියම් සබඳතා අපි හිතනා තරමට ම සමාජ විරෝධී නොවනු ඇත. එහෙත් මගේ වෑයම අනියම් පෙම සාධාරණීකරණය කිරීම නොවෙයි. අප ජීවත් වන සමාජ වටපිටාව, ඇදහීම් මත ඒ බව රඳා පවතිනු ඇත. ආදරයත් රාගයත් එකිනෙකින් ස්වායත්ත නැති අතර ඒවා අති සුන්දර මානව හැඟීම්ය. එබඳු ගලා යෑම් ජීවිතය ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. අනියම් සබඳතා සාමාන්‍ය සමාජය තුළ ප්‍රතික්ෂේප කිරීමකට බඳුන් වූවද, චිත්ත ප්‍රීතිය නොහොත් එබඳු අනියම් පෙමකින් ලබන අසීමාන්තික සැනසුම කිසිම විටෙක ලඝු කොට නොසැලකිය හැකිය. සාම්ප්‍රදායික රාමුවකව සිරවී සිටින ගැහැණියකි. ඇය සිය සිත සනසා ගනු වස් මෙන්ම ඇයට නොලැබෙන සුවයක් කරා ඇදෙන්නේ රාගය තරම් සිත දවන තවත් සිතුවිල්ලක් ලොව නොමැති නිසා වන්නට හැක. එය බොහෝ දෙනෙකුට අශික්ෂිත වූවත් අර සාම්ප්‍රදායික ගැහැණියගේ රාමුවෙන් බැලූ කළ එතරම් ම ගැටළුවක් නොවන බව පෙනෙයි. මේ ගීතය පුරාම ඇසෙන්නේ එකිනෙකට වෙනස් හදවත් තුනක විලාපයයි. ඒ  අර ගැහැණිය, ඇගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා මෙන්ම ඇය හා පෙමින් බැඳුණ තරුණයා ය. නිරුවත් ඇග කිසිම විටෙක නොපෙන්වවන අතර, පෘතග්ජන මිනිසුන්ගේ සිතේ නිරුවත මැනවින් විද්‍යාමාන කරයි.


Related image
කතා තුනක් සහ එකිනෙකට වෙනස් චරිත තුනක්. මේ සියල්ල එකම කතාවකට එකතු වෙලා. කතාව නිහඬවම ගලා යන්නේ ඔවුනොවුන් ගේ සිත් තුළ පවතින වික්ෂිප්ත මනෝ භාවයන් ද විවර කරමිනි. විරාගික මිනිසෙකු හා රාගී මිනිසෙකු  අතරට මැදි වූ ගැහැණිය. වෙසෙසින්ම ඇගේ සිත රාගික මිනිසා වෙතම දිව යන අතර, එහෙත් ඇය රාගික මිනිසා වෙතට බන්ධනය වී සිටින්නීය. ඇය තමාගේ විරාගික සැමියාටත් රාගික ප්‍රේම වන්තයාටත් ප්‍රේම කරන්නීය. රාගී විරාගී දෙහදක් අතර ඇය දෝලනය වන්නීය. ඇගේ උඩු සිත හා යටි සිත ඇයව ඊට මෙහෙයවන ආකාරය ගීතය පුරාම මැනවින් පෙන්වයි. රාගයෙන් අන්ධ වූවෙක් ට තේ කෝප්පයේ සිටින කුහුඹුවා පවා නොපෙනෙන අතර විරාගික මිනිසා එය හඳුනා ගනී. මුනිවර ආදරක් හා සරාගයට මැදි වූ ගැහැණිය ද රාගයෙන් අන්ධ වී සිටින්නීය. "විරාග රාගය අතරේ තනිවූ ආලය" කියද්දීම මුළු ගීතයේම අදහස සැකෙවින් රසිකයාට අවබෝධ වන අතර, කවුද විරාගිකයා සහ රාගිකයා යන්න පෙන්වා දෙයි. රසවත් අර්ථ රසයක් එක්ක ගලා යන මියුරු ගීතයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකිය. ගේය පද මාලාවේ ප්‍රබලත්වය, අපූරු වචන ගැලපීම, සංගීතය, වෙනස්ම හඬ පරාසයන් තුනක සංයෝජනය, රූප රචනයේ තිබෙන අධි තාත්ත්වික සිදුවීම් වල ගලා යෑම පෙර නොවිඳි රසාස්වාද ජනක සුවයක් රසිකයාට ලබා දෙන්නට සමත් වී ඇති බැව් මේ ගීතය හදවතින්ම රස විඳි රසිකාවියක ලෙස මේ සටහන තබන්නේ අතිශය නිරාමිස ප්‍රීතියකිනි.


ආදරය ඔබේ සිතට දැනෙනවා ද? ඔබේ හදවත අයදින්නේ ඔහු හෝ ඇය නම් සංංස්කෘතියට කො‍ටු වෙලා කලෙකදී දුක් විඳිනවාට වඩා ඒ ආදරයට ඔබේ ඉඩ ලබා දෙන්න. අප නිරන්තරයෙන් සොයන අසීමාන්තික සැනසීම ඇත්තේ ඒ තුළ වන්න ට පුළුවනි. කියා ගන්න බැරි වචන දහසක් හිතේ තද කරන් මැරී මැරී උපදින ජීවී ආත්ම අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එවන් අවස්ථා ජීවිතය කණපිට හරවන්නට එන බලවේග මෙන්ය. එබඳු බලවේගයන්ටකො‍ටු නොවීමට විචාරශීලී ගැහැනියට හැකි විය යුතුය. ජීවිතය තුළ දී අප ළඟා කරගත යුතු එකම දේ ආදරය නොවන මුත් ජීවිතය ජීවත් කරවීමට අවශ්‍ය ශක්තිය ගැබ් ව ඇත්තේ ඒ තුළ විය හැකිය.


Related image
රාගී, විරාගී සිත් දෙකක් අතර සිදුවන මෙම ඝට්ටනයේ අවසානයක් පැවතිය යුතුමය. එහෙයින්  එක් පාර්ශවයක් අනිවාර්යයෙන්ම පරාජිතයින් වනු ඇත. අසම්මතයට ගරහන ලෝකයක, එය කුමන හේතු මතවත් සමාජය සාධාරණීකරණය නොකරනු ඇත. එහෙයින් කවුරුන් දිනයිද පරදියි ද යන්න ඔබටවත්, මටවත් නිශ්චය කළ නොහැක. ඔබ අසම්මත යැයි හඳුනා ගත් සියල්ලම අසම්මතය නොවන බැව් සිත්හි දරා ගත යුතුය. ප්‍රේමය ප්‍රවාහයක් නිසා ප්‍රේමය සැබෑ ප්‍රේමයක් වන්නේ එහි හට ගැනීම නිසා නොවේ. කිරීම් තුළය. ප්‍රේම කිරීම තුළ සිදුවන ප්‍රේම හුවමාරුවත් එහි අහිමි වීමත් ඊට වඩා බොහෝ සෙයින් වෙනස් වූවකි.  ආයෙත් ආදරයෙන් හමු වෙමු. 

-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

Thursday, August 2, 2018

1818 වෙල්ලස්සේ අභීත ජන අරගලය

බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු 
ස්වර්ණ භූමියේ  මනරම් මාළිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් 
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ... මාළිගාව කෝ.... 

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ 
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටක‍ටු 
සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි... විලාපය නඟයි...

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කපා ඉන් ක‍ටු කම්බියෙන් බෙදා වෙන් කළ  
උන්ගේ හිස ගසා දමනා කඩුව බිම දමවු.... කඩුව බිම දමවු....

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් 
ගායනය    : ගුණදාස කපුගේ  ශූරීන් 
සංගීතය   : ගුණදාස කපුගේ  ශූරීන් 


රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් මොණරාගල රාජකීය විද්‍යාලයේ සේවය කරද්දී පාසලේ වැඩ අවසන්ව නවාතැනට යන මොහොතේදී  මොණරාගල කච්චේරිය වටකරගෙන මහා විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණා. එවකට පැවැති රජය ඌව වෙල්ලස්සෙන් අක්කර 35,000 ක් බහු ජාතික සමාගමකට උක් වගාව වෙනුවෙන් පවරා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වූවේ එවකට ඌව වෙල්ලස්සේ ජනතාව විසිනි. ඔවුන්ගේ සටන් පාඨය වූයේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ඇට ක‍ටු යට වුණු ඉඩම් බහු ජාතික සමාගම් වලට පවරා නොදෙන්න යන්නයි. රත්න ශ්‍රී මොහොතක් කල්පනා කරනවා වෙල්ලස්සේ ඉතිහාසය ගැන. මේ ගීතයට පාදක වූ අත්දැකීම වන්නේ එම සිදුවීමයි.


ඌව වෙල්ලස්ස යනු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයකි. ඉංග්‍රීසින් උඩරට රාජධාණිය යටත් කර ගත් පසු දියත්වූ පළමු ජන අරගලය ආරම්භ වුයේ අහිමානවත් වෙල්ලස්ස වාසින්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. උඩරට රාජධානි සමයේ දී ප්‍රධාන කෘෂි කාර්මික ප්‍රදේශයක්ව පැවති ඌව, වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල වැසියෝ වඩාත් රාජපාක්ෂිකව සිටියහ. මුස්ලිම් වරුන් මේ ප්‍රදේශ වල වෙළඳාමේ යෙදීම තුළින් බ්‍රිතාන්‍යයන් ගේ හොඳහිත දිනාගෙන තිබූ අතර, ඔවුන්ගේ ඉල්ලීමකට අනුව එම ප්‍රදේශය පාලනයට මුස්ලිම් මුහන්දිරම්වරයෙකු පත් කරන ලදී. එමඟින් කුපිත වූ වැසියන් ඊට විරෝධය පෑවෝය. පසුව රාජාධි රාජසිංහ රජුගේ නෑදෑයෙකු බව කියාගත් දොරේසාමි නැමැත්තෙකු රජකමට ඉදිරිපත් වූ අතර, ඒ සඳහා කැප්පෙටිපොළ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ කොහුකුඹුරේ මොහොට්ටාල, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහ බදුල්ලේ ගම්මානේ රටේරාල, වැනි සිංහල ජන නායකයින් ඊට සහයෝගය දෙනු ලැබීය.  


මුස්ලිම් මුහන්දිරම් වරයෙකු පාලනයට පත් කිරීමට එරෙහිව සිංහල ජන කොටස් ද දොරේසාමි වෙත යොමු වූ අතර, විශාල ජන බලයක් ඔහු වටා ගොඩනැගෙමින් පැවතුණි. මේ නිසා බ්‍රිතාන්‍ය පාලකයන් ඔහු අත් අඩංගුවට ගැනීමට තීරණය කරන ලදී. කැ‍රැල්ල ඌව ප්‍රදේශයට පමණක් සීමා කිරීමට බ්‍රිතාන්‍යයන් කොතෙකුත් උත්සාහ කළද, මේ වන විට ඉංග්‍රීසි පාලනය පිළිබඳව ජනතාව තුළ පැවති අප්‍රසාදය මෙන් ම බ්‍රිතාන්‍ය හමුදා භටයන් අනුගමනය කළ දරුණු ක්‍රියාමාර්ග ද නිසා එය නොබෝ කලකින් ම ජාතික නිදහස් සටනක ස්වරූපය ගත්තේය. 


මීට එරෙහිව 1818 කැ‍රැල්ල හට ගත් අතර කැ‍රැල්ල පාලනයට රොබට් බ්‍රවුන්රිග් විසින් මාෂල් ලෝ හෙවත් යුධ නීතිය පනවන ලදී. තවද කැ‍රැල්ල මර්දනයට බ්‍රවුන්රිග් ඉන්දියාවෙන් අතිරේක හමුදා ඉල්ලා සිටියේය. අවුරුදු 15 ට වැඩි කිසිවෙකු වෙල්ලස්සේ ඉතිරි නොකරන්නටත්, හරකා බාන, වතු පිටි ගිණි තබා 30,000 කට අධික පිරිසක් ඝාතනය කරන ලදී. එවකට ජන ගහනය ද අද තරම් නොවුණු අතර 30,000 ක් යනු සැළකිය යුතු ප්‍රමාණයක් විය. පැන ගත හැකි වූ පිරිස කුඹුක්කන් ඔය දිගේ, හැඩ ඔය දිගේ පානම් පත්තුවට පැන ගොස් රහසේ ජීවත් විය. ඔවුන් "බයෙන් පැන ගිය අය" හෙයින්  "බය ඈයෝ" බයියන් ලෙස හැඳින්වීය. 



Related imageසිංහලයින් පසු කරමින් සිටියේ ඉතාම දුෂ්කර වකවානුවකි. ආහාර පාන පවා සොයා ගැනීම දුෂ්කර වූ අතර ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූහ. එතරම්ම භීෂණයක් එවකට වෙල්ලස්සේ පැවතුණි. ඒ අනුව වෙල්ලස්ස භූමිය පුරා ඇත්තේ අතීත මුතුන් මිත්තන් නිදන සීතල පොළවයි. සිංහලයින්ගේ ස්වාධීනත්වය ‍රැක ගනු වස් ඔවුහු දිවි පුද කළ අතර, අභිමානවත් වෙල්ලස්ස ගොඩ නැගෙන්නේ ඔවුන් නිදන සීතල පොළව මතිනි. 

රත්න ශ්‍රී අතින් ගීතය ලියවෙන්නේ සබරගමුව සමන් දේවාලය ගැන ලියවුණු ජන කවියක ලක්ෂණ පාදක කර ගනිමිනි. 

               කන්ද උඩින් බැස්ස කළට පෙනේ උළු     මාලිගාව
               බිම්බරකුත් සෙඟ ඇවිත් රුවට  දිලෙන මාලිගාව
              උදේ හවා දිස්න දිදී රන් කොත් බබලන   ස්වභාව 
              ලංකාවට තිලකයක් ය සබරගමුව           මාලිගාව


එදා වෙල්ලස්ස වාසින් රජයට ආයාචනා කළේ එවන් පාරිශුද්ධ බිමක් බහු ජාතික සමාගම් වලට පවරා නොදෙන ලෙසයි. එදා වෙල්ලස්ස වැසියන් දිවි පුදා ‍රැක ගත් බිමෙහි උරුමය ඔවුන්ට ලබා දෙන ලෙසයි. හටන් කවියක ස්වරූපයෙන් ලියැවුණ මේ ගීතය පුරාම කියැවෙන්නේ අභිමානවත් සිංහලේ උරුමයයි. එවන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී ජාතියක ට අද අත්ව ඇති ඉරණම දනී නම් මේ මහ පොලොවේ නිදන මුතුන් මිත්තන් ද කම්පා වනු ඇත. කැළෑ එළි කිරීම නිසා මුතුන් මිත්තන් ගේ සීතල ඇට ක‍ටු පවා විලාප නැගූ බව කවියා අවධාරණය කරයි. එදා රජය විසින් සිදු කළ අන්තනෝමතික ක්‍රියාවට එරෙහිව ජනතාව පෙළ  ගැසුනේ මේ භූමිය තව දුරටත් මතු පරපුරට ‍රැක ගත් යුතු නිසාවෙනි. 

අවසන වෙල්ලස්ස කැ‍රැල්ලට සපිරෙන්නේ වසර 200 කි. එදා වෙල්ලස්සේ අභීත ජනයා ගෙන ගිය අරගලය නොවන්නට සිංහල ජාතියේ ඉතිහාස කතාව වෙනස් වන්නට ඉඩ තිබුණි. අද අප විඳින නිදහස පසුපස සැඟව ඇත්තේ වෙල්ලස්ස ජනයාගේ සුසුම් හා දා බිඳුය. ඔවුන්ගේ ශෝකී කඳුළු කතාවය.


-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි- 

Sunday, February 11, 2018

මේ භවයෙදී හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා

Image result for couple at bench


එක දවසක අපි නුපුරුදු හීනෙක
හිත හෙමිහිට බැදුනා
අප හමුවුණු හිනැහුනූ  මතකය
සසර පුරුදු හැගුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා

Related imageදවස් තිබුණා හවස් වෙනකොට ගෙදර යන්නට හිතුණෙවත් නැති! ඒ වගේ දවස් වල ඔයාගේ ළගටම වෙලා ඔහේ තේරුමක් නැති දේවල් කියවන්න මම ආස කළා! එහෙම කියවගෙන යද්දී ඔයා ඉක්මනට වටපිට බලලා ඔයාගේ ලස්සනම හිනාව මට පෙන්නලා කිව්වේ "සුදු මැණික හිමින් කියවන්නකෝ! හැමෝටම ඇහෙනවා නේ". දැන් ඉතින් මටත් ලැජ්ජයි. මම ඒ ලැජ්ජාවෙන්ම ඔයා දිහා බලන් වචයක්වත් නොකියා ඔයා දිහා බලන් ඉන්නවා! "පිස්සී" එච්චරයි ඔයා කිව්වේ.

ඒ මගෙයි ඔබෙයි ඉවරයක් නැති කතාව. අවසානයක් නැති අපේ කතාව. කතාවට පටන් ගන්නත් තිත තියන්නත් ඕන වුණේ ඔයාට. ඒත් අන්තිමට ඔයාගේ පටන් ගැනීම නිසා දුක් විදින්නේ මම. හ්ම්!  ආදරේ! ඇයි මෙච්චර මට දුක් දුන්නේ. හැමදාම අහනවා මම. ඒත් මට කවදාවත් ඒකට උත්තරයක් නැහැ.

සමහර දේවල් තදින් අල්ලා ගත්තාම අත අරින්න හරිම අමාරුයි. ඒකයි අදටත් මට ඔයාව අමතක කරන්න බැරි. කෙනෙක්ට තදින් ආදරය කරන හැමෝටම අන්තිමට වෙන්නේ ඒ ටික. කවුරු හරි චැට් කලත් දවසකට වඩා කතා කරන්න හිතෙන්  නැති.. අතිතය සමගම ජිවත්වෙන මතකයක් සමහරක් විට ඔබත් සතුව අැති. ඔව් ඒක එහෙම තමයි. අතීතය කියන්නේ මුළු ජීවිතේම වුණ කෙනෙක්, බොහෝ විට ජීවත් වෙන්න උත්සාහ දරන්නේ අතීතයේ මිහිරි මතක එක්කයි. අපිට අපේ වෙන්න බැරි වුණ දා ඉදන් මම මගේම හිතින් අහනවා.. ඇයි ඔයාව මගෙන් වෙන්කළේ කියලා. ඒත් උත්තරයක් නෑ ඒකට.

තුන් හිතක සීතලේ ගුලි වුණු
පෙම් කවක් තියෙනවා කියන්න
දිවුරන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සුවද දැනුණා - හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා

බොහොමයක් සුන්දර මතකයන් වන අතර වර්තමානය ඊට වඩා කටුක විය හැකියි. මේ කියන මම උනත් මේක කියවන ඔබට උනත්, ඔබේම නොවුනු ඔබේ ආදරයක් තියෙන්න⁣ට පුළුවන්. මොන තරම් දාර්ශනික  අදහස් දුන්නත් , ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඒ නිසා මේ ලෝකේ බොහෝ දෙනෙක් මිය යන්න පණ අදින,  හුස්ම පමණක්ම අයදින ආදරයක හිමිකරුවෝ. 

මේ ලොවම සැහැසී වූවද සද
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැදෙන්න
ඔබේ සුවද දැනුනා- හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදී හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා

"ආදරෙයි ද?"
"හ්ම්!"
"කොච්චරක් ද?"
"මේච්චරක්"
"මමයි වැඩියෙන් ආදරේ"
"නෑ මම"
"නෑ මම"
"හරි හරි දෙන්නම"
"පිස්සි"

ලැබුනු දේ කොච්චර හොද වුණත් වටිනවා උනත්, හිත තදින් ඇලුම් කල ඒ අතීත ආදරය ⁣අතීත ප්‍රේමය ඔබව දවනවා විය හැකිය. ජිවිතේ කියන්නේම අහිමි විම හා අනවශ්‍ය දේවල් ලැබිමය. මේ ගතවන ජිවිතයටද උරුමයක් නැති අපි කොහොමද තවත් ජිවිතයක් මේ ජිවිතයට ළං කරගන්න සිතන්නේ. අතිතය සුන්දර නම් අමතක කරන්න එපා විදින්න. අමතක කරන්න උත්සහ කරන්නත් එපා මතකයේ රදවා ගන්න. මොකද වැරදිම කාටත් පොදුයි. මේ භවයේදී ඔබේම වෙන්න බැරි වුණු මට ඊළඟ භවයේවත් ඔබේම වෙන්න ඉඩ දෙනවාද?

-චමෝදි විතානගේ-

කතුවරියගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධිමය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යකින් ගබඩා කර තබා ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම් ය.

-සියළුම හිමිකම් ඇවිරිණි-