Tuesday, November 24, 2015

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ..







සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ
කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ 
නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ

සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්

බලන්න ආසයි බටහිර සැන්දෑ අහසේ 
ඉගිල්ලෙන්න ද  මම කුමාරියක් වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ

අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ 
අහුලා ගන්නද සවනට මිහිරියි  අම්මේ
අහුලා ගන්න ද ඒ ගී සවනට මිහිරියි අම්මේ
ගෙයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු පිරෙයි
ඒ  ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...


සිනා මල් ගොඩක්... නෑ කඳුළු මල් ගොඩක්


ඇයට තවමත් හරියට තේරුම් කරගන්න බැහැ හොඳ මිනිස්සු කවුද නරක මිනිස්සු කවුද කියලා. මතුපිටින් සුන්දර පෙනෙන ඕන දෙයක් සිනා මල් ගොඩක් විදිහට බාරගන්න දෝණි දෙපාරක් නොහිතන්නේ ඒකයි.ඇයගේ සිත මල් පෙත්තක තරමට සිනිදු උනාට, හා පැටියෙක් තරමට  අහිංසක උනාට ඇය වටේ ඉන්න  හැමෝම එහෙම නෑ කියල තේරුම්  ගන්න තවමත් ඇයට අත්දැකීම් මදි.ඒත් මේ දෝණිගේ අම්මා ඇයට වඩා ගොඩාක් අත්දැකීම් පිරුණ කෙනෙක්. ඒකයි ඇය දෝණිව පරිස්සම් කරගන්නේ සිනා මලක් වගේ පෙනෙන හැම මායවකටම  රැවටෙන්න ඉඩ නොදී.
                            



නිදහස ලැබුන ගමන් දෝණිටත් ඕන කිරිල්ලයක් වගේ පියාඹන්න. හැම  අලුත්  අත්දැකීමක්ම විඳින්න. ඒත් නිල් අහසට ගිහින් පියාඹන්න තටු  ගහන්න විතරක් දැනගෙන හිටියට මදි කියලා දෝණිට තේරුමක් නෑ. ඈතට ලස්සන නිල් අහසක් වගේ පෙනුනට සුලං කපොලු, විදුලි අකුණු, මන්දාරම් ගොඩාක් ඒ ලස්සනට  යටින් තියෙනවා. ඒ වගේ තමයි  ඇයගේ ජීවිතේ ඉදිරිය අවුරාගෙන එන බාධකත්. ඒ බාධක වලට මුහුණ  දෙන  හැටි ඇය තවත් ඉගෙන ගන්න ඕන. ඒකයි කතාවටත් කියන්නේ දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා.






ගොඩාක් අය ඇවිත් හුඟාක් මිහිරි වචන ඇයට කියාවි. ගොඩාක් සුන්දරයි වගේ පෙනෙන අදහස් ඇයගේ  තැලිල පොඩි නොවුන සිතට තේරුම් කරවන්න උත්සාහ කරාවි. දේදුණු පාට හීන ගොඩක් ඇගේ  ඇස් ඉස්සරහ මවලා පෙන්වාවි. දෝණිත් ඒවට රැවටෙවි.ඒ හීන වල පාට හරි ඉක්මණට වියැකිලා ගියාම ඇයට පසු  තැවෙන්න වේවී. එදාට   ඇයගේ ඇස් වල කඳුලු වලට ඉවරයක් නැතිවේවි. අමාරුවෙන් මුතු කැට  එකින් එක අමුණලා හදපු මුතු වැලක් එක නිමේෂයකින් ඉහිරිලා ගියාම  දැනෙන දුක වගේ, ඇයගේ හීනත් ඉහිරිලා ගියාම  ඇය දුක් වෙනකොට. අම්මට බැහැ දෝණිගේ නිල් පාට ඇස් වල කඳුලු කැට බලන්න. ඊට කලිනුයි අම්මා ඇයට කියලා දෙන්නේ ලස්සනට පේන හැමදෙකටම ජීවිතේට පිවිසෙන්න ඉඩ දෙන එක ගොඩක් අවදානම් කියලා.


ඉදින් දෝණිට ලෝකේ දැකල, බලලා, අහලා තේරුම් කරගන්න දෙවල් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයකම හොඳ නරක වෙන් කරගෙන පොලොවේ පය ගහල ජීවත් උනොත් , දෝණිගේ ජීවිතේත් හැමදම සිනා මල් ගොඩක්ම වේවී!!




--චමෝදි විතානගේ--




කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් 

ලැබිය හැකි වරදකිඋපුටා ගැනීමඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්යකින් ගබඩා කර ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම්ය.

සියළුම හිමිකම් ඇවිරිණි.


Friday, November 20, 2015

මහද කැටපත් පවුරකි - ඔබ එහි පුරාතන කවියකි....

මහද කැටපත් පවුරකි...
ඔබ එහි පුරාතන කවියකි...

නිහඬ නිසසල සොඳුරු ඇස් ළඟ ‍රැදෙමි අතහැර ජීවීතේ
ළැමට තුරුළුව ළයට කොඳුරන ඒ අහිංසක ආදරේ... 
ඒ අහිංසක ආදරේ... 

අහස තරු මල් වියනකි 

පොළොව සල් මල් උයනකි
මුදු සුවඳ තැවරූ සඳවතී
ඔබ නෙත් මානේ උන්නම  ඇති....

මහද කැටපත් පවුරකි.. 
ඔබ එහි පුරාතන කවියකි..
නෙත කඳුළු තැවරූ සඳවතී..
මගේ සිත් විලේ පිපුනම ඇති.. 


නිහඬ නිසසල සොඳුරු ඇස් ළඟ ‍රැදෙමි අතහැර ජීවීතේ...




ආදරේ... ජීවිතේ ලස්සනම වචනය..  

පෙම්වතියකගේ ආගමනයත් සමඟ ජීවිතේ සැබෑ සුන්දරත්වය අත් දකින ප්‍රේමවන්තයෙකුගේ සිතුවිලි පාදක කොට ගෙන මෙම ගීතයේ පද මාලාව සකස් වී ඇත. නිහඬ නිසසල සොඳුරු නෙත් යුවළක් අසළ ජිවිතයේ අන් සියළු සුඛ විහරණයන් අතහැර වුවද නවාතැන් ගැනීමට පෙම්වතා සිතයි. ඇගේ අහිංසක ආදරය ඔහුගේ දිවියට ගෙනෙන්නේ අමුතුම සුවදායක හැඟුම් සමුදායකි. අමුතුම මිහිරකි.


පෙම්වතියගේ සුන්දර ආදර නිසා අවට පරිසරයේ වුවද වෙනදා නොදු‍ටු සුන්දරත්වයක් ඔහුට දැනේ,. මහ නුන ගැබ මල් ඇතිරූ වියනක් මෙන් ඔහුට දිස්වෙයි. මහා ලොළොව ද මල් උයනක සිරි ගෙන ඇතිවාක් මෙන් ඔහුට දැනෙයි. ඒ අන් කිසිවක් නිසා නොව තම පෙම්වතියගෙන් ඔහු ලබන අහිංසක ආදරයෙන් මුසපත් වීම නිසාය. ජීවිතයට වසන්තයේ සුව කැන්දවූ මිහිරාවියට ඔහු ආරාධනා කරන්නේ ඔහුගෙන් වසන් නොවී සදහටම නෙත් මානයේ සිටින ලෙසයි. 



ඔහුගේ සිත කැටපත් පවුරකි. බොහෝ දෙනා පිළිබඳ සුන්දර හැඟුම් ගොන්නක් එහි ඇතිවාට සැකයක් නොමැත. එහෙත් ආගන්තුකව ඔහුගේ දිවියට පැමිණි ඒ අහිංසකාවිය ඔහුගේ කැටපත් පවුර නැමැති සිත තුළ ප්‍රේමණීය හැඟුම් පුබුදු කර අවසන්ය. එබැවින් ඇය ඔහුගේ සිත තුළ නොමැකෙන සටහනක් තබා ඇත. මතුවටත් ඔහු ඇයට අහිංසක ආයාචනයකින් ඇරයුම් කරන්නේ ඔහුගේ සිත නැමැති විල තුළ විකසිත වෙමින් ඔහුගේ දිවියට සුගන්ධය ‍රැගෙන එන ලෙසයි. 

අහිංසක ආදරයක සුන්දරත්වය සරල වාග් මාලාවක් ඔස්සේ ශ්‍රාවකයාට දැනෙන්නට ඉඩ සළස්වා තිබීම පද රචකයා ලද ජයග්‍රහණයකැ යි සිතේ. 



- චමෝදි විතානගේ -

කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. උපුටා  ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ පළ  කිරීම සපුරා තහනම්ය. සියළුම හිමිකම් ඇවිරිණි.



Wednesday, November 18, 2015

"යුරෝපයේ කුමරිය- සුන්දර ප්‍රංශය"

වර්තමානය වන විට ලොව පුරා ජනතාවගේ වැඩිම අවධානය යොමු වූ
"යුරෝපයේ කුමරිය- සුන්දර ප්‍රංශය" පිළිබඳව ඔබ නොදත් තතු....

පැරීසියේ හදවත බඳු අයිෆල් කුළුණ


බටහිර යුරෝපයේ පිහිටා ඇති ප්‍රංශ ජනරජයට මුහුදින්  එතෙර පිහිටි ප්‍රදේශ හා දූපත් කිහිපයක් අයත් වේ. මධ්‍යධරණී මුහුදේ සිට ඉංග්‍රිසි ඕඩය මුහුදු ප්‍රදේශ දක්වා රයින් නදියේ සිට අත්ලාන්තික් සාගරය දක්වා පැතිරී අවතින ප්‍රංශය කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන රාජ්‍යකි. විවිධාකාර භූමි ලක්ෂණ වලින් හෙබි එරට නැගෙනහිර හා දකුණු ප්‍රදේශ වල උස් කඳු පිහිටා ඇත. ඇල්පයින් කඳුවැටියේ පිහිටි මොන්ට්බ්ලාන්ක් කඳු මුදුන (මීටර් 400) බටහිර යුරෝපයේ උසම කඳු මුදුන ලෙසද හැඳින්වේ. ප්‍රංශයේ තැනිතලා භූමි ප්‍රදේශ සයින්, ලොයර්, ගැරෝන් හා රොන් යන නදී නිම්න 4න් සමන්විත වේ. යුරෝපයේ වනාන්තර වලින් ගහණ දෙවන විශාලතම රට ලෙස සැලකෙන ප්‍රංශයේ මුලු භූමියෙන් සියයට 28ක් වනාන්තර වලින් වැසී ඇත.


පසුගිය වසර 500 ක කාලයක් තිස්සේ ලෝකයට මෙන්ම යුරෝපයට ද ප්‍රංශයෙන් විශාල සංස්කෘතික, දේශපාලනික, ආර්ථික හා යුධමය බලපෑමක් සිදුකර තිබේ. 17 හා 18 වන සියවස් වලදී ප්‍රංශය උතුරු ඇමෙරිකාවේ හා අග්නිදිග ආසියවේ ප්‍රදේශ ‍රැසක යටත් විජිත ඇති කිරීමට සමත් විය. 19 වන සියවසේ හා 20 වන සියවස මුලදී ප්‍රංශය ලොව දෙවැනි විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඊට උතුරු, බටහිර හා මධ්‍යම අප්‍රිකාවේ හා අග්නිදිග ආසියාවේ විශාල ප්‍රදේශයක් ද කැරිබියන් හා ශාන්තිකර දූපත් ‍රැසක් ද අයත් විය.


ප්‍රංශය ඉතා දීර්ඝ හා වර්ණවත් ඉතිහාසයකට උරුමකම් කියයි. මීට වසර දහ අට ලක්ෂයකට ඉහත දී මානව ජනාවාස පිහිටි බවට සාධක තිබේ. පූර්ව පැලියොතික යුගයට අයත් යැයි සැලකෙන වර්ණවත් චිත්‍ර සහිත ගුහා ‍රැසක් ප්‍රංශයේ දක්නට ලැබේ. ඒ අතරින් වඩාත් ආරක්ෂිත හා සංරක්ෂණය කරනු ලැබූ "ලැස්කෝ" ගුහාව ප්‍රසිද්ධ වී ඇත. දළ වශයෙන් ක්‍රි.පූ වසර හයසීයේ දී පමණ "අයෝනියනු" ග්‍රීකයින් මධ්‍යධරණී මුහුදු වෙරළබඩ ප්‍රදේශවල ජනාවාස පිහි‍ටුවාගෙන සිටි බවටද සාධක ඇත. එම ප්‍රදේශය "ගෝල් දේශය" නමින් ප්‍රසිද්ධ වී තිබේ. වර්තමාන ප්‍රංශය හරියටම ගෝල් දේශය තුළ පිහිටා ඇති බවටද සැළකෙයි. ඉතාම සරුසාර හා ප්‍රංශයට දකුණින් පිහිටි රාජ්‍යයක් වූ ගෝල් දේශය රෝම ආක්‍රමණයට ලක්වී ඇත. පසුව එම ප්‍රදේශය රෝම පළාත නමින් හැඳින්විනි.



ප්‍රසිද්ධ විකට කතා රචක "රේනේ ගොෂිනි" විසින් රචිත හා "ඇල්බෙයා උඩේසු" විසින් සිතුවමට නගනු ලැබූ"ඇස්ටෙරික්ස් ඔෆ් ද ගෝල්" නැමැති කා‍ටුන් කතා වලින් රෝම ආක්‍රමණය, ගෝල් දේශය හා ජුලියස් සීසර් පිළිබඳ පුරාවෘත්ත ලෝක ප්‍රසිද්ධ වී  තිබේ.


මාරි ඇන්ටනට් බිසව


ප්‍රංශ ඉතිහාසය පුරා වැදගත් චරිත රාශියක් ඉස්මතු වී තිබේ. මහා චාර්ල්ස් රජු, ජන වීර වරියක වන ෂෝන් ඔෆ් ආර්ක්, ළමා වියේදීම රජ වූ 13 වන ලුවී, ඒකාධිපති 16 වන ලුවී රජු හා ඔහුගේ බිරිඳ මාරි ඇන්ටනට් බිසව, නැපෝලියන් බොනපාට් ආදී චරිත ඉන් කිහිපයකි. ප්‍රංශ ඉතිහාසය වෙනස් කරන ලද සිදුවීම දෙකකි. එනම් ප්‍රංශය විප්ලවය සහ බැස්ටීල් සිරගෙදරට  පහර දීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1958 දී එවකට ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය රොබට් ෂූමන්, ප්‍රංශ ආර්ථික විද්‍යාර්ථියෙකු  හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ෂෝන් මොනට් හා එක්ව යුරෝපා සංගමය නම් දැවැන්ත සංවිධානය ගොඩනැගීමේ කාර්යය ඉ‍ටු කළේය. ප්‍රංශය ලොව ඉතාම දියුණු හා පොහොසත්ම රටවල් අටරින් එකකි. එරට පුරවැසියෝ ඉතා උසස් දිවිපෙවෙතක් ගත කරති.  1999 ජනවාරි පළමුවැනිදා සිට ප්‍රංශය යුරෝ මුදල් භාවිතා කරන සෙසු රටවල්  අතරට එක්විය. 2002 වසර වනවිට ප්‍රංශයේ පැරණි මුදල් ඒකකය වන ෆ්‍රෑන්ක් මුදල් නෝට්‍ටු හා කාසි භාවිතය මුළුමනින්ම අවසන් විය.

වසර 2009 වන විට ප්‍රංශය ලෝකයට සංවර්ධන ආධාර සපයන සපයන දෙවන විශාලතම රට බවට පත්විය. එය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් දෙවැනි වූ අතර ජර්මනිය, ජපානය සහ එක්සත් රාජධානිය ද අභිබවා සිටියි. යුරෝපා සංගමයේ ආරම්භක සාමාජිකත්වයට අමතරව ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ද ආරම්භක සාමාජිකයෙකි. ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන ප්‍රංශය ,ජී-08, ජී-20, ලෝක වෙළඳ සංවිධානය සහ ලතින් සංගමයේ ද සාමාජිකත්වය දරයි.


ප්‍රංශය 1971 දී පරිසර කටයුතු පිළිබඳ වෙනම අමාත්‍යාංශයක් පිහි‍ටුවීමෙන් පරිසර සංරක්ෂණයට එක්වූ ලොව මුල්ම රටක්  බවට ද පත්විය. ප්‍රංශයේ ඉතා උසස් කාර්මික ආර්ථිකයක් පවතී. එමෙන්ම කෘෂිකාර්මික කටයුතු වලද විශාල දියුණුවක් දක්නට ඇත. මෝටර් රථ නිෂ්පාදනය, ගුවන් යානා නිපදවීම, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපාංග, විලාසිතා ප්‍රංශ ආර්ථිකයේ වැදගත් අංග වේ.


17 වන ශත වර්ෂයේ සිටම විලාසිතා කර්මාන්තය ප්‍රංශයේ ජනප්‍රිය වී ඇත. වර්තමානයේ පැරිස් අගනුවර ලොව ඉහළම විලාසිතා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිත වී ඇත. ලෝ ප්‍රකටවිලාසිතා නාමයන් වන චැනල්, ඩියෝ, ගිවන්සි, ආදිය පැරිස් නුවර පිහිටා තිබේ. එමෙන්ම ලොව ඉහළ පෙළේ මෝස්තර නිර්මාණ ශිල්පීන් වන ඉවස් සේන් ලෝරන්, ශීන් පෝල් ගවුල්ටියර් හා ක්‍රිස්ටියන් ලැක්ලොයිස් ද බිහිවී ඇත්තේ පැරිස් නුවරිනි.



ලොව ප්‍රමුඛ පෙළේ සංචාරක ආකර්ශණීය රටක් වන ප්‍රංශයට වසරකට සංචාරකයෝ අටකෝටියකට වඩා පැමිණෙති. එමෙන්ම ප්‍රංශයේ යුනෙස්කෝ ලෝක උරුම  භූමි 37ක් පමණ ඇත. ප්‍රංශයේ "ශාන්ත ජේම්ස්" හා "ශාන්ත ලෝඩ්ස්" යන දේවස්ථාන වන්දනා කිරීමට බැතිමත්හු වසරකට දසලක්ෂයකට අධික සංඛ්‍යාවක් පැමිණෙති.


වර්සේල්ස් මාලිගාව

ලූවර් කෞතුකාගාර
ප්‍රංශයේ විශේෂයෙන් පැරිස් නුවර ලොව විශාලතම හා ප්‍රකට කෞතුකාගාර ‍රැසක් පිහිටා තිබේ. ලූවර්, මුසේ ඩී  ඕසේ සහ බෝබර්ග් යනාදිය ඉන් කිහිපයකි. "ගුස්ටව් අයිකොයි" විසින් නිර්මිත "අයිෆල් කුළුණ" , වර්සේල්ස් මාලිගාව ආදියද ප්‍රංශයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන
කිහිපයකි.  ගිණිකොණ දිග ප්‍රදේශයේ ‍ පිහිටි රිවයිරා පෙදෙස එරට දෙවැනි සංචාරක ආකර්ෂණීය කලාපයයි.ප්‍රංශයේ දුම්රිය මාර්ග පද්ධතිය බටහිර යුරෝපයේ දෙවැනි විශාලතම ප්‍රවාහන පද්ධතියයි. පැයට කිලෝමීටර 320 ක පමණ වේගයෙන් ගමන් කරන "යුරෝස්ටා" දුම්රිය ප්‍රංශයේ සිට එක්සත් රාජධාණිය දක්වා ගමන් කරන්නේ මුහුද යට පිහිටි උමඟක් හරහාය. පැරිස් නුවර "චාල්ස් ඩිගෝල්" ගුවන්තො‍ටුපල එරට විශාලතම හා කාර්ය බහුලම ගුවන් තො‍ටුපලයි. එමෙන්ම "රෙනෝල්ට්", "ප්ර්ජෝ" සහ "සිට්‍රන්"වැනි මෝටර් රථ නිෂ්පාදනය කරමින් ප්‍රංශය මෝටර් රථ වෙළඳපොළේ ද ආධිපත්‍ය දරයි.


ශත වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රංශ සංස්කෘතික නිර්මාණ පිළිබඳව ද ප්‍රසිද්ධ වී ඇත. "කැමිලි පිසාරෝ", "එඩුවාඩ් මැනට්", "එඩ්ගා ඩෙගාස්", "ක්ලෝඩ් මොනට්" සහ "ඔගස්ටේ රෙනෝට්" ලොව ප්‍රකට ප්‍රංශ කලාකරුවෝ වෙති. ප්‍රකට ප්‍රංශ ලේඛක "වික්ටර් හියුගෝ" ප්‍රංශයේ විශිෂ්ඨතම ලේඛකයා ලෙස සැළකෙයි. ඔහු විසින් රචිත "ලේ මිසරාබෙල්"  (මනුතාපය)  විශිෂ්ඨතම නවකථාවක් ලෙස සැළකෙයි. වසර 2010 වන විට සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගය දිනූ වැඩිම පිරිසක් බිහිවී ඇත්තේ ලොව කිසිම රටකින් නොව ප්‍රංශයෙනි.



ප්‍රංශ ආහාර සම්ප්‍රදාය ද ලොව විශිෂ්ඨතම හා විවිධත්වයෙන් යුතු එකක් ලෙස ලෝක ප්‍රකට වී තිබේ.  "බිස්කේ", " පොයෝගාස්", "විචේ", "පොට් ඕ පියු" එරට සාම්ප්‍රදායික ආහාර වර්ගයන් වේ. විශේෂ හැඩයෙන් පාන් හා බනිස් වර්ග සඳහා ද ප්‍රංශය ප්‍රසිද්ධියක් උසුලයි. ප්‍රංශ චොකලට්, ඉක්ලෙයාර්ස් වැනි රසකැවිලි ලොව පුරා ප්‍රචලිත වී තිබේ. විවිධ වර්ගයේ වයින් හා චීස් වර්ග සඳහා ද ප්‍රංශය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.


- චමෝදි විතානගේ -

කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකිඋපුටා  ගැනීමඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ 
පළ  කිරීම සපුරා තහනම්යසියළුම හිමිකම් ඇවිරිණි.