සුදු නෙළුම කෝ සොරබොර වැවේ - මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ - මල් නෙළා විකිණූ පංසලේ...
වැවට කළුවර යා වුණා - සංසාර දුක බෝ වුණා
නෙළු මල් මිට ඉහිරුණා - එහා ඉවුරට පා වුණා...
සිහින් සිරි පොද වෑහුණා - ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී - මෙහා ඉවුරට පා වුණා...
සුදු නෙළුම කෝ....
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්
ගායනය: පණ්ඩිත් අමරදේව ශූරීන්
තවත් සංවේදීත්වයට පත් කරවන අතිශය මානව හිතවාදී අත්දැකීමක් වෙත ඔබේ හදවත සමීප කරන්නටයි මේ වෑයම. මේ ගීතයේ රචකයා වන රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්ගේ සැබෑ අත්දැකීමක් ලෙස ලියවුණු මේ ගීතය ශ්‍රාවක හදවත් තුළ ඇති කරන්නේ කඳුලකි.
රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් මොනරාගල ප්‍රදේශයේ පාසලක් සේවය කරමින් සිටියදී ඔහුගේ පාසලේ සිසුවියක අනපේක්ෂිත ලෙස දියේ ගිලී මිය යෑම නිසා ඔහුගේ සිතේ හටගත් කම්පනය මෙසේ ගී පද රචනයක් විය.
සුදු නෙළුම කෝ සොරබොර වැවේ - මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ - මල් නෙළා විකිණූ පංසලේ
පද රචකයා ඒ දියේ ගිලී මිය ගිය සිසුවිය ආමන්ත්‍රණය කරන්නේ සුදු නෙළුම කෝ... යනුවෙනි. ජීවත් වීම යනු සැබෑම අරගලයකි. මෙකී සිසුවිය ඇතුළු ඇගේ පවුලේ උදවිය ද ජීවත් වීමේ අරගලයෙන් බැට කෑවෝය. අලුත් සුදු ගවුමක් හා කවකටු පෙට්ටියක අඩුව පිරි මසා ගැනීමට ඇය පොහොය දිනට පෙර දින වැඩට ගියේ වැවෙන් මල් නෙලාගෙන ඔක්කම්පිටිය දෙමටමල් විහාරයට පැමිණෙන බැතිමතුන්ට විකිණීමටය. සෑම පෝයකටම විහරයේ බැතිමතුන්ට මල් විකිණීම ඇගේ ජීවිතයේ අංගයක් විය.
වැවට කළුවර යා වුණා - සංසාර දුක බෝ වුණා
නෙළු මල් මිට ඉහිරුණා - එහා ඉවුරට පා වුණා
ගොම්මන් අඳුර වැටීගෙන එන යාමයේ, හැකිතාල් මල් නෙලන්නට යැයි, ඇය වැව මැදටම ගියාය. අවාසනාවක මහත. ඇය පැදවූ ඔරුව වැවේ පෙරළී අනපේක්ෂිත ලෙස ඇය දියේ ගිලී මිය ගියාය. වැවට පවා මේ හදිසි සිදුවීම දරාගත නොහැකි වීමෙන් සංසරගත දුකක් හටගත්තේය. මෙම සිදුවීම රචකයා ඔබ හමුවට ගෙනෙන්නේ අනුකම්පාව නංවමිනි. චිත්ත රූප මැවෙන කාව්‍යමය බස් වහර නිසා එය තවත් තීව්‍ර වන්නේය.
සිහින් සිරි පොද වෑහුණා - ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී - මෙහා ඉවුරට පා වුණා
ඇය නිවසට නොපැමිණි තැන, නිවස ද එකම ශෝකාලාපයකි. පසුවදාට පහන් වන විට, සිහින් සිරිපොදක් පැමිණ පරිසරය වෙලා ගත්තේය. වැව් පත්ල සඟවා ගත් ඇගේ සිරුර පසුවදාට පහන් වන විට වැව් ඉවුරට ගසා ගෙන ආවේය. ගම්මානය හැඩ කළ සුදු නෙළුම් මල මෙසේ අවසන් ගමන් ගියාය. අහිංසක බලාපොරොත්තුවක් සපුරා ගනු පිණිස ගිය ඇය නැවත නිවසට ආවේ සැබැවින්ම සුදු නෙළුමක් විලසිනි. රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ සිත ප්‍රකම්පනයට පත් කළේ මෙකී සිදුවීමයි.ඇය වැවට මල් නෙලන්නට ගියේ ඇගේ පාසල් ගමනට තිබූ අඩුපාඩුකම් මඟ හරවා ගැනීමටයි. නමුත් අවාසනාවන්ත ලෙස සිදුවුයේ කුමක්ද? නොපැතූ අයුරින් ජීවිතයෙන් සමු දෙන්නට ඇයට සිදුවිය. ගීතයේ පද ඇසෙන සෑම විටම හදවත තුළ නැගෙන්නේ කඳුළකි. මරණ මංචකයේදී ඇය වැළපෙන හඬ පවා කාටත් ඇසෙන්නට නැත. මරණය කා හටත් පොදු ධර්මතාවයක් වුවත් ඇය වැන්නියක් මෙසේ මරණයට පත් වීම අදහා ගත නොහැක.
මේ ගීතය හරහා රචකයා පුළුල් සමාජ පැතිකඩක් නිරාවරණය කරයි. සෑම ප්‍රශ්නයකටම විසඳුම මරණය යැයි සිතන පරපුරක, ජීවත් වීමේ නොනිමි අරගලයක යෙදෙමින් මැරී මැරී උපදින දනන්ගේ ජීවන ගමන තව තවත් සුව පහසු වේවා!.
ගීතයට සවන් දෙන්න : https://www.youtube.com/watch?v=dwN-v3wSt6Q
--චමෝදි විතානගේ--
ලැබිය හැකි වරදකි. උපුටා ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්යකින් ගබඩා කර ගැනීම හෝ පළ කිරීම සපුරා තහනම්ය.

No comments:
Post a Comment