Friday, November 20, 2015

මහද කැටපත් පවුරකි - ඔබ එහි පුරාතන කවියකි....

මහද කැටපත් පවුරකි...
ඔබ එහි පුරාතන කවියකි...

නිහඬ නිසසල සොඳුරු ඇස් ළඟ ‍රැදෙමි අතහැර ජීවීතේ
ළැමට තුරුළුව ළයට කොඳුරන ඒ අහිංසක ආදරේ... 
ඒ අහිංසක ආදරේ... 

අහස තරු මල් වියනකි 

පොළොව සල් මල් උයනකි
මුදු සුවඳ තැවරූ සඳවතී
ඔබ නෙත් මානේ උන්නම  ඇති....

මහද කැටපත් පවුරකි.. 
ඔබ එහි පුරාතන කවියකි..
නෙත කඳුළු තැවරූ සඳවතී..
මගේ සිත් විලේ පිපුනම ඇති.. 


නිහඬ නිසසල සොඳුරු ඇස් ළඟ ‍රැදෙමි අතහැර ජීවීතේ...




ආදරේ... ජීවිතේ ලස්සනම වචනය..  

පෙම්වතියකගේ ආගමනයත් සමඟ ජීවිතේ සැබෑ සුන්දරත්වය අත් දකින ප්‍රේමවන්තයෙකුගේ සිතුවිලි පාදක කොට ගෙන මෙම ගීතයේ පද මාලාව සකස් වී ඇත. නිහඬ නිසසල සොඳුරු නෙත් යුවළක් අසළ ජිවිතයේ අන් සියළු සුඛ විහරණයන් අතහැර වුවද නවාතැන් ගැනීමට පෙම්වතා සිතයි. ඇගේ අහිංසක ආදරය ඔහුගේ දිවියට ගෙනෙන්නේ අමුතුම සුවදායක හැඟුම් සමුදායකි. අමුතුම මිහිරකි.


පෙම්වතියගේ සුන්දර ආදර නිසා අවට පරිසරයේ වුවද වෙනදා නොදු‍ටු සුන්දරත්වයක් ඔහුට දැනේ,. මහ නුන ගැබ මල් ඇතිරූ වියනක් මෙන් ඔහුට දිස්වෙයි. මහා ලොළොව ද මල් උයනක සිරි ගෙන ඇතිවාක් මෙන් ඔහුට දැනෙයි. ඒ අන් කිසිවක් නිසා නොව තම පෙම්වතියගෙන් ඔහු ලබන අහිංසක ආදරයෙන් මුසපත් වීම නිසාය. ජීවිතයට වසන්තයේ සුව කැන්දවූ මිහිරාවියට ඔහු ආරාධනා කරන්නේ ඔහුගෙන් වසන් නොවී සදහටම නෙත් මානයේ සිටින ලෙසයි. 



ඔහුගේ සිත කැටපත් පවුරකි. බොහෝ දෙනා පිළිබඳ සුන්දර හැඟුම් ගොන්නක් එහි ඇතිවාට සැකයක් නොමැත. එහෙත් ආගන්තුකව ඔහුගේ දිවියට පැමිණි ඒ අහිංසකාවිය ඔහුගේ කැටපත් පවුර නැමැති සිත තුළ ප්‍රේමණීය හැඟුම් පුබුදු කර අවසන්ය. එබැවින් ඇය ඔහුගේ සිත තුළ නොමැකෙන සටහනක් තබා ඇත. මතුවටත් ඔහු ඇයට අහිංසක ආයාචනයකින් ඇරයුම් කරන්නේ ඔහුගේ සිත නැමැති විල තුළ විකසිත වෙමින් ඔහුගේ දිවියට සුගන්ධය ‍රැගෙන එන ලෙසයි. 

අහිංසක ආදරයක සුන්දරත්වය සරල වාග් මාලාවක් ඔස්සේ ශ්‍රාවකයාට දැනෙන්නට ඉඩ සළස්වා තිබීම පද රචකයා ලද ජයග්‍රහණයකැ යි සිතේ. 



- චමෝදි විතානගේ -

කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. උපුටා  ගැනීම, ඡායා පිටපත් ගැනීම හෝ විද්‍යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ පළ  කිරීම සපුරා තහනම්ය. සියළුම හිමිකම් ඇවිරිණි.



2 comments:

  1. අහිංසක ආදරයක සුන්දරත්වය

    ReplyDelete
    Replies
    1. ආදරේ... ජීවිතේ ලස්සනම වචනය..

      Delete