Saturday, November 8, 2014

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා..



අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා...
කුමාරියන් වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..


සිංහල සුභාවිත ගීතය කෙරෙහි දායක වුනු ගීත රචකයින් අතලොස්ස අතුරින් පෙරමුණේ පසු වන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් ඉතා ජනප්‍රිය , අරුත් පූර්ණ ගීයකි “අජානීය ඉස්කූටර්” ගීතය. වත්මන් ප්‍රේමය සියුම් ලෙස විවේචනය කිරීමක් ගීතය තුල දකින්නට ලැබෙයි. ගීතය බිහි වී දශක දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වුවද තවමත් ගීතයේ පද තුල තිබු කාලෝචිත බවනම් බාල වී නැත.
“අජානීය” යන පදය එතරම් සාමාන්‍ය රසිකයනට හුරු වුවක් නොවෙයි. නමුත් බෞද්ධ සාහිත්‍යය නිරතුරුවම ඇසුරු කරන රත්න ශ්‍රී විජේසිංහයන් හටනම් එය එතරම් නුහුරු නොවන්නට ඇත. අජානීය යනු එක්තරා උසස් අශ්ව කුලයකි. ගීතය තුල ප්‍රධාන චරිත ත්‍රිත්වයක් මැවීමට රචකයා සමත්ව තිබේ. පෙම්වතියක්, පෙම්වතෙක් හා ඔවුන් දෙසට අවධානය යොමු වූ කම් කරුවෙක් වෙයි. පෙම්වතිය පෙම්වතා සමගින් උසස් පැලැන්තියේ යතුරු පැදියකින් පවනට බඳු වේගයෙන් නික්මෙයි. මෙතරම් හදිස්සියේ කොහේ යනුදැයි රචකයා පැනයක් මවයි. පෙම්වතිය, පෙම්වතාගේ දෙඋර බදා ආඩම්බරයෙන් වීදියේ සිරි නරඹයි. ඇය ඉතා උජාරුවෙන් කුමාරි ලීලාවෙන් සිටියත් ඒ ප්‍රේමාන්විත බවෙහි තිබෙන තාවකාලිකත්වය රචකයා සියුම් ලෙස ඉදිරිපත් කරන්නේ “නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා” යන්නෙනි.

සූ සැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා..
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා..
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.....
පෙම් යුවල දෙස බලා හිඳින චරිතය තරමක් උගත් අයෙකි. එය ඔහුම සඳහන් කරයි. ශිල්ප හොදින් ඉගනගෙන ප්‍රඥාවන්ත වූවත් ඔහුට ලැබුනේ කම්කරු වෘත්තියයි. පාරේ වෙහෙසී වැඩ කරන ඔහු දෙස බලා යතුරු පැදියේ යන පෙම්වතිය උපහාසාත්මක සිනහවක් නගා විලවුන් තැවරූ ලේන්සුවකින් මුව වසා ගනී.
සදාකල්ම පෙම්වතුගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..


සදාකාලිකවම පෙම්වතුන්ගේ සිහින තුල පිපෙන මලක් වෙයි. එය ආදරය නමැති උදුම්බරා මලයි. උදුම්බරා මලක් පිපෙන්නේ ඉතා කලාතුරකිනි. පිපි විට ගව් ගණන් සුවඳ විහිදුවයි. සැබෑ ආදරයත් ඒ උදුම්බරා මල ලෙසම වෙයි. වත්මන් ප්‍රේම කතා බොහෝ විට එක රැයකින් අවසන් වන ඒවා වෙයි. ගීතය අවසානයේ රචකයා ප්‍රාර්ථනයක් කරවයි. ඒ සැමදාම සැබෑ ආදරයම සැමදා විකසිත වේවා යන්නයි.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ විරසිංහ
-උපුටා ගැනීමකි-

--චමෝදි විතානගේ---

2 comments: