Sunday, March 8, 2015

සම තැන – නිසි තැන – සහ කාන්තාවෝ

සම තැන – නිසි තැන –  සහ කාන්තාවෝ

                            
                               

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්ත‍්‍රිය ද පුරුෂයා ද එකසේ ම දායක වෙයි. එහිලා ඔවුනොවුන් මුහුණපාන අත්දැකීම් ද ඔවුනොවුන් සිදු කරන කැප කිරීම් ද එකම කාර්යභාරයක් වෙනුවෙන් එකිනෙකා අනුගමනය කරන ක‍්‍රමවේදයන් ද වෙනස් වේ. කායිකව ද ස්ත‍්‍රීන් හා පුරුෂයන් අතර කැපී පෙනෙන වෙනස්කම් තිබේ. මේ නිසාවෙන් ම මානව ශිෂ්ටාචාරයේ සමාරම්භයේ පටන් ම ස්ත‍්‍රිය ද පුරුෂයා ද සමාජ භූමිකාවේ ස්වකීය ප‍්‍රතිරූපය තහවුරු කර ගැනීමේ අරගලයක නිරතව සිටී. ඇතැම් විට නිහඬවම ද ඇතැම් විට ප‍්‍රකටවම ද මේ ස්ත‍්‍රී – පුරුෂ අරගලය දක්නට ලැබේ.





සෑම වසරක ම මාර්තු මස 08 වනදා වෙන් කොට තිබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනි. එහෙත් ජාත්‍යන්තර පුරුෂ දිනයක් ලෝකයේ නැත. මේ කාරණයෙන් වුව ද ස්ත‍්‍රිය හා පුරුෂයා කෙරෙහි මුළුමහත් සමාජය ම අනුගමනය කරනු ලබනුයේ පිළිවෙත් දෙකක් ය යන්න පැහැදිලි වේ. එහෙත් ලෝකයේ පැවැත්මට පුරුෂයා ද ස්ත‍්‍රිය ද එකසේ ම දායක වේ. එසේ නම් විශේෂිත දිනයක් වෙන් කර ගනිමින් ස්ත‍්‍රී විමුක්තිය ගැන කථා කරන්නේ ඇයි? ස්ත‍්‍රියට සම තැනක් – නිසි තැනක් හිමි විය යුතු යැයි ප‍්‍රකාශ නිකුත් කෙරෙන්නේ ඇයි?
යථෝක්ත පැනයට හේතුවක් නිශ්චිතව දැක්විය නො හැකි බව සැබෑ ය. එහෙත් ලෝක ඉතිහාසයේ පෞරාණික ම යුගවල ද මේ ස්වභාවය දකින්නට වූ බවට සාධක ඇත. සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ජම්බුද්වීපය පුරා පැතිර ගිය අදහස වූයේ ද ස්ත‍්‍රිය හීන දීන උපතක් ලද්දියක බව ය. ශුද්‍ර, වෛශ්‍ය, ක්ෂතී‍්‍රය, බ‍්‍රාහ්මණ ආදි කුල භේදය සේ ම දරුණු ලෙස සහ ඇතැම් විට එයටත් වඩා ප‍්‍රබල ලෙස ස්තී‍්‍ර – පුරුෂ භේදය දකින්නට ලැබුණි. දියණියකගේ උපත කුලයේ විනාශයට හේතු වන්නක් ලෙසින් සැලකූ භාරතීය සමාජයේ මුල්බැසගත් එ් දෘෂ්ටිය බිඳ හෙළන්නට මුල් වූවෝ අප සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේ ය.

උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගතවී ගිය අටවන සතියේ දී අජපාල නුග රුක මුල දී පාපී මාරයා පැමිණ ‘‘දුකෙන් නිදහස් වීමේ ඉලක්කය සම්පූර්ණ කර ගත් සුගතයාණන් වහන්සේ පිරිනිවී වඩින සේක්වා!” යි ආරාධනා කළේ ය. එවිට උන් වහන්සේ වදාළේ මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ම ධර්මයෙහි මුල් බැස ගන්නා තුරු තථාගතයාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවන බව ය. සම්බුද්ධ ශාසනය අන් සියලූ ලෝක ප‍්‍රතිපදාවන්ගෙන් වෙනස් ආරක් ගනිමින් ස්ත‍්‍රියකට වේවා, පුරුෂයෙකුට වේවා එක ම ඉලක්කය වෙත පිවිසීමේ අවකාශය එසේ සලසා දුන්නේ ශාසන අරුණෝදයේ දී ම ය.

එ් විමුක්ති මාර්ගයට පිවිස සසුන් බඹසර සුරැකීමෙන් ස්ත‍්‍රියක සාක්ෂාත් කරනා නිර්වාණය එකී වැඩපිළිවෙළෙහි ම යෙදීමෙන් පුරුෂයෙකු සාක්ෂාත් කර ගන්නා නිර්වාණයෙන් වෙනස් වූවක් නො වේ. එ් දෙදෙනාගේ ම නිවන වනාහී එක සේ ම ප‍්‍රණීත වූවකි, ශාන්ත වූවකි. නුවණ මෙහෙයවා කටයුතු කරනා, සිහිය පිහිටුවාගෙන කටයුතු කරනා ස්ත‍්‍රී පුරුෂයනට උරුම වන නිසි තැන එය ය. නුවණ මෙහෙයවීමෙන් ම ස්ත‍්‍රියකට ද පුරුෂයෙකුට ද උරුම වන සම තැන එය ය. එ් උත්තම ක්ෂේම භූමියේ දී ස්ත‍්‍රී පුරුෂ යන මේ සියලූ පැනවීම්, සම්මුතීන් පමණක් ම වේ. එ් රහතන් වහන්සේලා කිසිවකට නො බැඳී, කිසිවකට නො ගැටී ලෝකයෙන් එතෙර වූ සේක් ම ය…!

ලෝකයේ හුදු සම්මුතීන් අතික‍්‍රමණය කළ සම්බුද්ධ ශාසනය තුළ නුවණැති ශ‍්‍රාවකයන්ට හිමි නිසි තැන ද සම තැන ද ලබන්නට සියලූ මනුෂ්‍ය වර්ගයාට වාසනාව උදා වේවා!!!


Abstract from : http://mahamegha.lk/mahamegha-today/kanthawoo/

Tuesday, March 3, 2015

ඔබ ආයෙමත් ඇවිදින්....

ඔබ ආයෙමත් ඇවිදින්.....



ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..! 

මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුට පෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි... පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..

ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..


දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!
ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක් .!!
ගායනය - අමරසිරි පීරිස්‌
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා

--චමෝදි විතානගේ--
කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම බුද්ධ්මය දේපළ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකිඋපුටා  ගැනීමඡායා පිටපත් ගැනීම හෝ විද්යුත් මාධ්‍යයකින් ගබඩා කර ගැනීම හෝ 
පළ කිරීම සපුරා තහනම්යසියළුමහිමිකම් ඇවිරිණි.